අධික වේගය හා නින්ද යෑමත් අනතුරට හේතු වෙලා
දරු දෙදෙනා හා ස්වාමියා රෝහලේ
නෝනගම, ඇඹිලිපිටිය මාර්ගයේ බැමිණියන්විල ප්‍රදේශයේ දී ඊයේ (31) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් එකම පවුලේ පාසල් ගුරුවරියක් මිය ගොස් විදුහල්පතිවරයෙක් හා දරු දෙදෙනා තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
කොළඹ සිට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ නිවස බලා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි මෝටර් රථය පදවාගෙන ආ ස්වාමි පුරුෂයාට නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට මෝටර් රථය ධාවනය වී මාර්ගය අසල පිහිටා තිබූ ගං කොහොඹ ගසක මෝටර් රථය ගැටීමෙන් සිදු වූ අනතුරින් මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගත් බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට මිරිජ්ජවිල අඩි 100 පාර පදිංචි මාතර රජයේ පාසලක සේවය කරන සමන්තිකා ජයසිංහ (51) යන අය බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පැවසුවේය. අම්බලන්තොට මාමඩල විදුහලේ විදුහල්පතිවරයා ලෙස සේවය කරන ජුවානහැන්නදිගේ සුරසේන (52) නමැති රියැදුරු තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. වයස අවුරුදු 20 සහ 16 පසුවන දරුවන් දෙදෙනා ද මෝටර් රථයේ ගමන් කර ඇති අතර එම දරුවන් දෙදෙනාට ද තුවාල සිදු වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. අධිවේගී මාර්ගයේ පැමිණ බරවකුඹුක පිටවීමේ දොරටුවෙන් පිට වී නෝනගම, ඇඹිලිපිටිය මාර්ගයේ හම්බන්තොටට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරේ ස්වභාවය අනුව මෝටර් රථය වේගයෙන් ධාවනය වී ඇති බවද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ. සමරනායක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මිද්දෙණිආරච්චි, පොලිස් සැරයන් (40493) විජිත, පොලිස් කොස්තාපල් (86430) මධුසංක යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.
ලුණම සමූහ සනත් ගමගේ අම්බලන්තොට සමූහ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි