- මාලයේ හා පෙන්ඩනයේ වටිනාකම ලක්ෂ දෙකහමාරක්
- සැකකරු අත්අඩංගුවට
යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ මඟ හරස් කර, යතුරුපැදියට පයින් ගසා පෙරළා දමා, ඇගේ කොණ්ඩයෙන් ඇද බෙල්ල මිරිකා, පොල්ලක් රැගෙන පහර දී , අනතුරුව එක් අතක් සහ කකුලක් සපාකමින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයක් කොල්ලකා පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර, මහබුලංකූලම සමනලගම පදිංචිව සිටි වයස අවුරුදු 47ක පුද්ගලයෙකි. පැමිණිලිකාර 38 හැවිරිදි කාන්තාව තම දරුවා පාසල නිමවී, රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් මහබුලංකුලම වැව් බැම්ම මතින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇයට පහර දී මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය කියයි. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය පයින් ගසා පෙරළා දමා පැමිණිලිකාරියගේ කොණ්ඩයෙන් ඇද බෙල්ල මිරිකා, හිසට, පිට ප්රදේශයට සහ දෙපාවලට සියඹලා පොල්ලකින් පහර දී, ඇගේ දකුණු අත සහ වම් කකුලේ පසුපස ප්රදේශය සපා කා, බුලංකුලම වැව් බැම්ම මතින් බිමට තල්ලු කර දමා සැකකරු මෙම කොල්ලකෑම සිදු කර තිබූ බවයි.
සැකකරු විසින් කොල්ලකන ලද රන්මාලය සහ පෙන්ඩනයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දහසක් බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. අත්අඩංගුවට ගස් සැකකරු අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.