- කප්පම් ඉල්ලූ මරණ තර්ජන ලිපියක් දුරකතනයේ
- තවත් පොලිස් නිලධාරීනුත් බ්ලැක්මේල් කළ බවට තොරතුරු
මෙයට මාස පහකට පමණ ඉහතදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් ඇහැළියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මරණය ඇතුළු සිද්ධි ගණනාවකට සම්බන්ධ බවට සැක කෙරෙන 35 හැවිරිදි කාන්තාවක මහනුවර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝබර් 21 දින සිය නිල නිවෙසේදී රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යෑමට පෙර ඔහුගේ ජංගම දුරකතනයට අවසන් වරට ඇමතුමක් ලැබී ඇත්තේ සැකකාර කාන්තාවගේ දුරකතනයෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ කාන්තාව ජංගම දුරකතන දෙකක් භාවිත කරමින් කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට සකස් කරන ලද ලිපියක් එක් දුරකතනයකින් අනෙක් එකට යොමු කර පොලිසියට ඉදිරිපත් කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු වද්දී ඉහළ පොලිස් නිලධාරීන් හා සමීප සම්බන්ධතා ගොඩනඟාගනිමින් ඔවුන්ගේ ඡයාරූප හා වීඩියෝ දර්ශන ජංගම දුරකතනයට ගෙන්වාගෙන තිබෙන මේ කාන්තාව පසුව ඒවා උපයෝගි කරගනිමින් ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ගෙන තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්යුත් තැපෑලටද ඒ ආකාරයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාසය යොදවා කළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බව තහවුරු වීමෙන් පසු සිදු කළ පොලිස් විමර්ශනවලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විද්යුත් ලිපිනයට යොමු කළ පැමිණිල්ලේ කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් කොට තිබුණද එය ව්‍යාජ එකක් බව බුද්ධි නිලධාරීන් තහවුරු කරගෙන ඇත. පසුව ඒ පිළිබඳව පරීක්ෂණ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ. ඇයගේ ජංගම දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ සිදු කර කැකිරාව තලාව ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණ පරීක්ෂණයේදී මේ කාන්තාව ව්‍යාජ නමකින් සාක්ෂි දී ඇති බවද අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහත්වරුන්ගේ අධීක්ෂණය මත, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සරෝජනී, (උ.පො.ප) රත්නායක, (උ.පො.ප) ලාල් වැඩිදුර විමර්ශන සිදු කරති.