පසුගිය කාලය පුරාම වාගේ අසන්නට, දකින්නට ලැබුණේ ඊශ්‍රායලය, රුසියාව යන රටවල යුදමය වාතාවරණය පිළිබඳ තොරතුරුය. අමෙරිකාව පිළිබඳව යම් යම් ආකාරයෙන් කතා වන්නට පටන් ගන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරනා විට ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතාබහ කරන්නට යාමේදීය. ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව ද කතාබහක් පසුගියදා ඇතිවිණි. එහෙත් හදිසියේම පසුගිය අඟහරුවාදා අලුයම අමෙරිකාවේ උණුසුම් පුවතක් ලෝකය පුරා ගලා යන්නට විය. එයින් කියවුණේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් පාලමක හැපීමෙන් පාලම කඩාවැටීම පිළිබඳ පුවතකි. මේ ආකාරයට කඩාවැටීමට ලක්වූයේ Francis scott Key Bridgeය. අමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ පිහිටි මෙම පාලමේ වැදීමට ලක්ව තිබුණේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකි. ඒ අවස්ථාවේදී පාලම මත ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ද ගංඟාව මත පතිතව තිබූ බව විදෙස් පුවත් සේවාවන්, තම ප්‍රවෘත්තීන්හි සඳහන් කරන්නට විය. BBC පුවත් සේවාව සඳහන් කරන්නේ බොල්ටිමෝර් ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජලයට වැටී ඇති බව ඔවුන් විශ්වාස කරනු ලබන බවයි. එම අවස්ථාවේදීම සහන සේවා කණ්ඩායම් ඒ වෙත ගමන් කර, අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට විය. පාලමේ වැදීමෙන් අනතුරට පත් වූ නැව පෝර්ට් බ්‍රීස් වරායෙන් අලුයම 12.45ට පිටත් වී ඉන් විනාඩි 45ක් ගිය තැන අලුයම 1.30ට පාලම හා ගැටීමට ලක්ව තිබේ.
මේ අවස්ථාව වන විට නෞකාව මත සිංගප්පූරු ධජය ලෙළදෙමින් පැවති අතර එය හඳුන්වා තිබුණේ ඩාලි නමිනි. මෙම අනතුරට ලක්වීමත් සමඟ ෙබාල්ටිමෝර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබිණි. පුද්ගලයින් හයදෙනෙකු ඒ වනවිටත් අතුරුදන්ව සිටි හෙයින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ සෙවීම් සහ ගලවාගැනීමේ කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදෙන බවයි. මෙම අනතුර ඔහු විසින් හඳුන්වා තිබුණේ භයානක තත්ත්වයේ අනතුරක් ලෙසයි.
Francis Scott Key Bridge
දැනට ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම පාලම වශයෙන් හැඳින්වෙන්නේ Golden Gate පාලමයි. එය නිමකොට දැනට අවුරුදු 75කටත් වඩා කල් ඉක්ම ගොස් අවසන්ය. කෙසේ වෙතත් සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි Golden Gate පාලම ගැන කතා කරනා තරමට Francis Scott Key සම්බන්ධයෙන් කතාබහක් ඇති නොවිණි. එහෙත් මෙම කඩාවැටීමත් සමඟ ඒ පිළිබඳ කතා අලුත් වෙමින් තිබේ. එමෙන්ම පාලමේ ඉතිහාසය සම්බන්ධව ද තොරතුරු සෙවීමට බොහෝ දෙනෙකු උනන්දු වන්නට විය.
මෙම පාලම ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ 1972 වසරේදීය. මේ ආකාරයට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ පාලම නිමාවට පත් කරමින් විවෘත කිරීම සිදු කරනු ලැබුවේ 1977 මාර්තු මස 23 වැනිදාය. මේ ආකාරයට ඉදිකරනු ලබන පාලම මතින් බස් රථ, යතුරුපැදි පමණක් නොව පදිකයින් සඳහා ද මෙය විවෘත වන්නට විය. මෙම පාලම ඉදිකිරීමෙන් පසු වඩා විශේෂත්වයක් වන්නේ එහි නම් තැබීමයි. එයට නම තබනු ලැබුවේ “The Star – Spangled Banner” අමෙරිකානු ජාතික ගීය රචනා කරනු ලැබූ Francis Scott Key ගේ නමිනි. ඔහු (1779 – 1843) එවක නම් දරා සිටියේ ආධුනික කවියකු වශයෙනි. පැටප්ස්කෝ ගඟ හරහා ඉදිවී ඇති මෙම පාලමේ දිග වශයෙන් සඳහන්ව ඇත්තේ සැතපුම් 1.6ක පමණ දුරකි. පළල වශයෙන් දක්වා ඇත්තේ මීටර් 366 ක දුර ප්‍රමාණයක් වන අතර පාලම කඩා වැටුණු ස්ථානයේ ගැඹුර දැක්වෙන්නේ අඩි 50ක පමණ ප්‍රමාණයකි.
අනතුරට පත් ඩාලි
පසුගිය අඟහරුවාදා පාලමේ වැදීමෙන් අනතුරට පත් නෞකාව මේ ආකාරයට අනතුරට පත්ව ඇත්තේ පළමු වතාවට නොවේ. මීට පෙර 2016 වසරේ ජූලි මාසයේදී, බෙල්ජියමේ Antwerp – Bruges වරායේදී එය අනතුරට ලක්වීමෙන් වරාය ජැටියට හානි සිදුවිය. මෙවර අනතුර සිදුවීමෙන් පසු නැව, කළමනාකරණය කරන ආයතනය පවසන්නේ බැල්ටිමෝර් වරාය වසා දැමීමත් සමඟ තම නැව් අවට වරායන් වෙත යැවීමට කටයුතු කරනා බවයි. ඩාලි නැව මේ වනවිට කුලියට ගෙන ඇත්තේ ඩෙන්මාර්කයේ නැව් සමාගමක් විසිනි.
කොයි හැටි වෙතත් අඟහරුවාදා අලුයම වනවිට අනතුර සිදු වූ අවස්ථාවේ පාලම අවට ආරක්ෂක නිලධාරීන් කටයුතු කළ ආකාරය නොවන්නට මීට වඩා අනතුරක් සිදුවිය හැකිව තිබූ බව විදෙස් පුවත් සේවාවන් විසින් සඳහන් කරයි. ඔවුනට රේඩියෝ පණිවුඩයක් ලැබී තිබුණේ පාලනයෙන් තොරව නැවක් පාලම දිශාවට ගමන් කරනා බවයි. පටිගතව ඇති එම පණිවුඩයෙන් කියැවුණේ පාලම වෙත වාහන ගමන් කිරීම නතර කරන ලෙසයි. ඩාලි නෞකාව තම ගමන ආරම්භ කරනු ලැබුවේ දින 27ක ගමන් කාලයක් වෙනුවෙනි. නෞකාව බැල්ටිමෝර් වරායෙන් නික්මී පාලම වෙත ළඟා වෙමින් තිබියදී යාත්‍රාව තුළ විදුලිය ද ඇනහිටි බව සඳහන්ය. විදෙස් මාධ්‍ය සඳහන් කරනා ආකාරයට එන්ජින් ඇතුළු අනෙකුත් උපකරණ ද අක්‍රියව පැවැති බව කියැවේ. නැව තුළ විදුලිය ඇනහිටීමේ තත්ත්වයක් ඇති වූ හෙයින් එහි ජෙනරේටරය ක්‍රියාත්මක වුවද එන්ජිම ක්‍රියාත්මක වීමට තරම් බලයක් එහි නොතිබිණි. මෙම සිදුවීම් කිහිපයත් සමඟ නෞකාවේ සේවක පිරිස තම අදාළ අංශ වෙත තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීමෙන් පසු ආරක්ෂක අංශ පාලම වෙත එන වාහන නතර කිරීමට පියවර ගෙන ඇත්තේ මින් පසුවය.
කොයිහැටි වෙතත් නැව පාලමේ වැදී අනතුරට ලක්වීමෙන් පසු මේ පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් කළ අතර මෙහිදී ඔවුන් සොයා බැලූ කාරණය වූයේ නෞකාවේ විදුලිබලය ඇණ හිටියේ කවර හේතුවක් නිසා ද යන්නයි.
නැවේ විදුලිබලය
මේ වනවිට මූලිකවම පැහැදිලි වී ඇති කාරණාව වන්නේ ඩාලි නෞකාවේ විදුලිය ඇනහිටීම සම්බන්ධයෙන් කටයුතු විමර්ශනය කරමින් සිටිනා බවයි. එමෙන්ම සමාජ මාධ්‍යයන්වලින් කරුණු සඳහන් වූයේ නැවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. එමෙන්ම වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් පවසන්නේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, විදුලිය ඇනහිටියේ එම නිසා බවත්ය.
එහෙත් සමාජ මාධ්‍යය ඒ ආකාරයෙන් සඳහන් කළ ද විමර්ශන කණ්ඩායම් පවසන්නේ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි.
මෙම පාලමේ කටයුතු අඩාළ වීමෙන් මාස කිහිපයක්, එසේත් නැතිනම් වසර කිහිපයක් හෝ ගමනාගමනයට බාධාවන් එල්ල විය හැකි බව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශකයින් සඳහන් කරයි. එමෙන්ම නාවික කටයුතු කෙරෙහි ද මෙම අනතුර බලපා ඇතැයි නාවික අංශය සඳහන් කරයි.
මෙම පාලම මතින් 2023 වසරේදී පමණක් වාහන 800,000ක් පමණ වරාය හරහා ගමන් කර ඇති අතර ආනයනික භාණ්ඩ ටොන් මිලියන 1.3ක ප්‍රමාණයක් ද ඒ හරහා ගෙන යන ලදි.