Monday, April 7, 2025
Home » ධනංජය ටෙස්ට් පිටියේ පෙරට -කමිඳුටත් ස්ථානයක්

ධනංජය ටෙස්ට් පිටියේ පෙරට -කමිඳුටත් ස්ථානයක්

by sachintha
March 28, 2024 1:43 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 15කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්ව තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේදී රැස් කළ විශිෂ්ට ශතක ද්විත්වය හේතුවෙන් ඔහු 29 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථාන දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 695කි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී 32 හැවිරිදි ධනංජය හිමිකරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්වීමට ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 40ක් පමණි.

ධනංජය පළමු ඉනිමේදී ලකුණු 102ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 108ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේය.

මේ අතර සිය දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් බංග්ලාදේශයට එරෙහි තරගයේ පළමු ඉනිමේදී මංගල ටෙස්ට් ශතකයත් (102) දෙවැනි ඉනිමේදී විශිෂ්ට ලකුණු 164ක් රැස් කරමින් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් මුල් වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල හොඳම පිතිකරුවන් 100 දෙනා අතරට පිවිස ඇති අතර, ඔහුට ශ්‍රේණිගත ලකුණු 476ක් සමඟ 64 වැනි ස්ථාන‍ හිමිව ඇත. මින් පෙර කමිඳුට මුල් පිතිකරුවන් 100 අතරේ ස්ථානයක් හිමිව නොතිබිණි.

පළමු ඉනිමේදී අංක 7 පිතිකරු ලෙසත්, දෙවැනි ඉනිමේදී අංක 8 පිතිකරු ලෙසත් පිටියට පිවිසි ඔහු ටෙස්ට් තරගයක අංක 7 හෝ ඊට පහළින් පිතිකරණයේ යෙදෙමින් ඉනිම දෙකේදීම ශතක රැස් කළ ලොව පළමු පිතිකරු ලෙසට ද වාර්තා පොතට එක්විය.

හිටපු නායක දිමුත් කරුණාරත්න 7 වැනි ස්ථානයේම රැඳී සිටින අතර, ඔහුගේ ශ්‍රේණිගත ලකුණු 10ක් අඩුවී තිබේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 5කින් (27) දිනේෂ් චන්දිමාල් ස්ථාන 8කින් (28) පහත බැස තිබීම ද කැපී පෙනේ.

පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිත ස්ථාන 6ක් පෙරට එමින් 38 වැනි තැන හිමි කර ගෙන ඇති අතර, විශ්ව ප්‍රනාන්දු ස්ථාන 7ක් (43)ක්, ළහිරු කුමාර ස්ථාන 6ක් (46) ඉදිරියට ඒමට සමත්ව සිටිති.

 

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT