Sunday, April 20, 2025
Home » ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරය ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිට

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරය ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිට

by sachintha
March 25, 2024 1:00 am 0 comment

රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්ව සිටිති. මාර්තු 02 වැනිදා සිට 06 වැනිදා තෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ එකොළොස් වැනි මහ සභා රැස්වීමේදී උන් වහන්සේ මේ තනතුරට පත් වූහ. මේ සම්මේලනයට විශාල පිරිසක් සහභාගි වූ අතර, ලංකාවේ භික්ෂුන් වහන්සේ පනස් නමක් ඒ අතර වූහ.

ලෝකයේ විශාලතම බෞද්ධ සංවිධානය වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 1966දී ආරම්භ වූවකි. 1981දී තායිවානයේ තායිපේ නගරයේ එහි මූලස්ථානය පිහිටුවන ලදි. මෙයට පෙර පිඹුරේ සෝරත නාහිමි, කළුකොඳයාවේ පඤ්ඤාශේඛර මහා නාහිමි ආදි ලාංකික භික්ෂූහු මේ සංවිධානයේ තනතුරු දැරූහ. විමලසාර නාහිමියන්ගේ ආචාර්යවරයාණන් වන ජගත් කීර්තිමත් කලාකරුවකු හා ශ්‍රේෂ්ඨ බෞද්ධ ධර්මදූතයකු වූ ආචාර්ය, කලාසූරී මාපලගම විපුලසාර නාහිමිපාණෝ දීර්ඝ කාලයක් මෙහි ප්‍රධාන ලේකම් තනතුර හෙබවූහ.

ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සාමය සඳහා වන ආසියානු බෞද්ධ සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ආදි තනතුරු ගණනාවක් හොබවන කීර්තිමත් සංඝ පීතෘවරයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT