Home » මරදාන පොලිස් ස්ථානාධිපති ලෙස ASPට ඇමතුම් දුන් යුද හමුදා කෝප්‍රල්ට ඇප

මරදාන පොලිස් ස්ථානාධිපති ලෙස ASPට ඇමතුම් දුන් යුද හමුදා කෝප්‍රල්ට ඇප

by sachintha
March 25, 2024 12:38 am 0 comment

මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් රත්නපුර සහකාර පොලිස් අධිකාරී එස්.ඩබ්ලිව්. මීගහපොල සහ වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් යුද හමුදා කෝප්‍රල්වරයකු වේවැල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර ඇත.

මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ රත්නපුර ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ රොක් හවුස් කඳවුරේ සේවයේ නිරත ප්‍රසාද් වික්‍රම නමැති 37 හැවිරිදි වියේ පසුවන කෝප්‍රල්වරයාය.

මෙම කෝප්‍රල්වරයා මෙම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 06 වෙනිදාය. නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මත්පැන් පානයකර වෙරිමතින් ඔහු මෙම ඇමතුමදී ඇති බව විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.

මෙම කෝප්‍රල්වරයා එදින රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයාට 071-85913– යන රාජකාරි ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන පවසා ඇත්තේ වෙව්වැල්වත්ත පොලිස් වසමේ තොරතුරු රැසක් තමා සතුව ඇති බැවින් ඒ ගැන දැනගන්නට අවශ්‍යනම් තමාට දුරකථන ඇමතුමක් ලබාගන්නා ලෙස වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙසය.

එහි දී සහකාර පොලිස් අධිකාරීවරයා එම ඇමතුම ලබාදුන් පුද්ගලයාගෙන් තමා කවුරුන්දැයි විමසූ විට පිළිතුරුදී ඇත්තේ මරදාන පොලිසියේ ස්ථානාධිපති කියාය. පසුව දුරකථනය විසන්ධිකර ඇත. පොලිස් නිලධාරියකුගේ හැසිරීමක් එම ඇමතුමෙන් නොපෙනුන බැවින් සහකාර පොලිස් අධිකාරීවරයා තමාට දුරකථන ඇමතුම දුන් පුද්ගලයාට නැවත ඇමතුමක් ලබාදෙමින් විස්තර විමසීමේ දී තමා ගැන විස්තර අනවශ්‍ය බව පවසා දුරකථනය නැවත විසන්ධිකර ඇත.

මේ ගැන වේවැල්වත්ත පොලිසිය දැනුවත් කර කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ යුද හමුදා කෝප්‍රල්වරයෙක් මෙසේ බීමතින් හැසිරී ඇති බවය. මෙම සිදුවීමෙන් අනතුරුව කෝප්‍රල්වරයා නැවත සේවයට ගොස් සිටි බැවින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවාඩු ලැබ පැමිණීමෙන් අනතුරුව බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT