Monday, April 21, 2025
Home » කෝටි 07ක අර්ථසාධක වංචාවට පොල් මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී රිමාන්ඩ්

කෝටි 07ක අර්ථසාධක වංචාවට පොල් මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී රිමාන්ඩ්

by sachintha
March 25, 2024 12:35 am 0 comment

 

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 07කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි හිටපු සාමාන්‍යාධිකාරී කේ.ඩී. ලයනල් ධර්මසිරි (64)) මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දෙල්ගොඩ උඩුපිල පදිංචිකරුවෙක් වන ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අර්ථසාධක මුදල් 77,722,6911ක මුදල් වංචා කිරීම, නිසි සොයා බැලීමකින් තොරව වංචාව සඳහා යොදාගත් චෙක්පත් 50කට ආසන්න ප්‍රමාණයෙන් චෙක් පත් 25ක් අත්සන් කිරීම හේතුවෙනි. 2015 සහ 2021 යන වර්ෂවල මෙම වංචාව සිදුව ඇත්තේ චෙක්පත් මගින් අර්ථ සාධක මුදල් වෙනත් අයට ලබාදෙමිනි. මෙම වංචාව සම්බන්ධයෙන් මෙම සැකකරු සමඟ මේ වන විට පොල් වගා කිරීමේ මණ්ඩලයේ හිටපු ගණකාධිකාරිනියක්, ඇයගේ ඥාතීන්, කළමනාකරණ සහකාරවරියක් සහ ඇයගේ සැමියා ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව දීර්ඝ ලෙස ඒ ගැන විමර්ශන පවත්වා එහි ගණකාධිකාරි සහ සහකාර ගණකාධිකාරි තනතුරුවල රැඳී සිටි නිලධාරිනියන් දෙදෙනෙක් 2023 වසරේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනාගේ නමින් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලක් චෙක්පත් අත්සන්කර ලබා දී ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණි. මේ අය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ තමරා දිල්හානි සහ නීලා අතපත්තු යන දෙදෙනාය. මහා පරිමාණ වංචාව සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් එක්ව ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් විශ්‍රාම ලැබූවන්ගේ නම් ද යොදා ගනිමින් සේවක අර්ථසාධක අරමුදලින් මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදු කර තිබිණි.

අනතුරුව මෙම වංචාව සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අරුණ ශාන්ත ජගත්නාථ සිල්වා යන අයවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ ජූලි මාසයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය. එහි දී ඔහුවත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

චෙක්පත් සඳහා මුල් අත්සන් කරු ලෙස තම අත්සන යෙදීමට පෙර නිවරැදි පුද්ගලයන් වෙත එම චෙක්පත් යොමු වෙනවාද එම චෙක්පත්වල නම් සඳහන් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බැලීම රාජකාරිමය වගකීමක් බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව අධිකරණයට ඉදිරිපත්කරමින් එකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වනු ලැබීය.

ඊට අදාළව හිටපු සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 22 වෙනිදා සවස් කාලයේදීය. මෙම වංචාව සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT