Monday, April 21, 2025
Home » කරාපිටිය මාතෘ ශික්ෂණ රෝහල ‘ජර්මන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල’ ලෙස 27දා ජනතා අයිතියට

කරාපිටිය මාතෘ ශික්ෂණ රෝහල ‘ජර්මන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල’ ලෙස 27දා ජනතා අයිතියට

by sachintha
March 25, 2024 1:01 am 0 comment

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන මහල් හයකින් සහ ශල්‍යාගාර හයකින් සමන්විත කරාපිටිය මාතෘ ශික්ෂණ රෝහල ‘ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව මාතෘ රෝහල’ නමින් මේ මස 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

රෝහල විවෘත කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතින බව ගාල්ල මහමෝදර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය බී. විමලසේන මහතා පැවැසීය.

රෝහල ඇඳන් 600කින් සමන්විතය. ශල්‍යාගාර හයක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු නවීන පහසුකම්වලින් යුක්ත වන්නේය. හිටපු ජර්මන් චාන්සලර් හෙල්මුට් කෝල් මහතා හබරාදූව තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිටියදී 2004 වසරේ සුනාමි ව්‍යසනයට ලක්ව දිවි බේරාගෙන තිබිණ. ඒ මහතා දිවි බේරාගෙන ගුවන් මඟින් කොළඹ බලා යද්දී ගාල්ල මහමෝදර මාතෘ රෝහලට සුනාමියෙන් සිදු වූ ව්‍යසනය සියැසින්ම දැක තිබේ. පසුව මේ රෝහල ඉදිකිරීමට ඔහු තීරණය කර තිබිණ. අනතුරුව ඒ සඳහා ඔහු විසින් රුපියල් කෝටි 300ක් පරිත්‍යාගයක් කළේය.

ඒ අනුව 2007දී එවකට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් මේ රෝහල ඉදිකිරීමට මුල්ගල් තබනු ලැබීය. එහෙත් එම ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන ගිය සමාගම විසින් එය

නිසියාකාරව ඉටු නොකොට අතරමඟ නතර කර දමා යෑම නිසා රෝහලේ ඉදිකිරීම් කටයුතු අත්තිවාරමට පමණක් සීමාවී පැවතිණ. පසුව නැවත ජර්මන් රජය විසින් දුන් (යූරෝ මිලියන 25 ක) රුපියල් කෝටි 357ක ණය ආධාර මුදලකින් මේ රෝහල ඉදි කරනු ලැබීය.

මෙතෙක් කලක් මහමෝදර රෝහලේ පවත්වාගෙන ගිය මාතෘ සායන පසුගිය 04 වැනිදා සිට මේ රෝහලට රැගෙනවිත් ඇත.

දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමුහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT