Friday, April 18, 2025
Home » මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් 137ක් මරුට – වගකිව යුත්තන්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් 137ක් මරුට – වගකිව යුත්තන්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි

by sachintha
March 25, 2024 1:00 am 0 comment

ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් අත්අඩංගුවට

ප්‍රහාරයේ වගකීම අයිඑස් භාර ගනී

140කට තුවාල

රුසියාවේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්’ ශාලාවට පසුගිය සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංගීත ප්‍රසංගයක් නැරැඹීමට පැමිණ සිටි පුද්ගලයන් 137 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රසංග ශාලාවට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් සංගීතලෝලින් ඉලක්ක කරමින් තැබූ විවෘත වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. එදින රාත්‍රී එම ශාලාවේදී රුසියාවේ සුප්‍රකට ‘පික්නික්’ රොක් සංගීත කණ්ඩායමේ ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, වෙඩි ප්‍රහාරය එල්ල වන මොහොතේ 6,200කට ආසන්න රුසියානුවන් පිරිසකගෙන් ප්‍රසංග ශාලාව සහ ඒ අවට ප්‍රදේශය පිරී ඉතිරී ගොස් තිබූ බව ද වාර්තා වේ. තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරය හමුවේ සංගීතලෝලීන් හිස් ලූ ලූ අත දිව ගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් පික්නික් සංගීත කණ්ඩායමේ කිසිවකුට හානි සිදු නොවූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි ප්‍රහාරයත් සමඟ එම තුවක්කුකරුවන් දැවෙනසුලු ද්‍රාවණයක් ප්‍රසංග ශාලාව පුරා විසිරුවා හැරීමෙන් මහල් 7කින් සමන්විත ක්‍රොකස් සිටි හෝල් ප්‍රසංග ශාලාව ගිනි ගෙන විනාශ වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ක්‍රොකස් සිටි හෝල් ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානා භාවිත කරමින් ජලය ටොන් 160ක් එම ගොඩනැඟිල්ලට පතිත කළ ද, ගින්න මැඬ පැවැත්වීමට පැය 10කට අධික කාලයක් ගත වී ඇත. ගින්නෙන් එම ගොඩනැඟිල්ලේ වහලයේ විශාල කොටසක් ද කඩා වැටී තිබේ.

මිනිත්තු 20ක පමණ කාලයක් වෙඩි තැබීම සිදු වී ඇති අතර, ඊට තුවක්කුකරුවන් සිව්දෙනකු පැමිණ ඇතැයි රුසියානු බුද්ධි අංශ පසුව ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරයෙන් පසු පලා ගිය තුවක්කුකරුවන් සොයා මොස්කව් නුවර පොලිසිය, හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මාර්ග බාධක යොදා විශාල මෙහෙයුමක් ආරම්භ කළ බවත්, පැය ගණනාවකට පසු ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ. සුදු පැහැති රෙනොල්ට් වර්ගයේ මෝටර් රථයකින් පලා යමින් සිටි තුවක්කුකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොස්කව් නුවරට කිලෝමීටර් 340ක් දුරින් මාර්ග බාධකයකදීය. ඒ වනවිටත් සැකකරුවන් 11 දෙනකු මොස්කව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු බව ද වාර්තා වේ.

ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැති අතර, ඔවුන් රුසියානු ජාතිකයන් නොවන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අයිඑස් ත්‍රස්ත සංවිධානය බවට ඊට සුළු මොහොතකට පසු අමෙරිකාව ප්‍රකාශ කළ බවත්, පසුව එය අයිඑස් ත්‍රස්ත සංවිධානය තහවුරු කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළද, මෙතෙක් ඒ පිළිබඳ රුසියාව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බව ද වාර්තා වේ. මේ ප්‍රහාරය එල්ල වූයේ මොස්කව් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර මාසයක් ගතවීමටත් පෙරය.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් අත්අඩංගුවට පත් වූයේ යුක්රේනයට පලා යමින් සිටියදී බවට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇති අතර, ප්‍රහාරයේ වගකීම භාර නොගන්නා බව පුටින්ගේ ප්‍රකාශය තරයේම හෙළා දකිමින් යුක්රේන ජනාධීපතිවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරයට යුක්රේනයේ සම්බන්ධයක් නැතැයි අමෙරිකාව ද ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව, චීනය, උතුරු කොරියාව, අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක්ම ප්‍රහාරය හෙළා දකිමින් මෑත ඉතිහාසයේ රුසියාවේ සිදු වූ විශාලතම ප්‍රහාරය සම්බන්ධව රුසියාවට සිය ශෝකය පිරිනමා ඇති අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා හවුල ද එවැනිම ප්‍රකාශ නිකුත් කර තිබේ. රුසියාව පමණක් නොව ලොවම කම්පනයට පත් කළ මොස්කව් ප්‍රහාරයට වගකිව යුත්තන්ට දැඩි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති රුසියානු ජනාධිපතිවරයා ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ඊයේ (ඉරිදා) රුසියාවට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT