Home » කිසිදු දිනෙක ආණ්ඩු බලයක් නොදැරූ අය සිහින ලෝකවල සිට මොන දේ කීවත් රජයකට එලෙස කටයුතු කරන්න බෑ – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන
ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

කිසිදු දිනෙක ආණ්ඩු බලයක් නොදැරූ අය සිහින ලෝකවල සිට මොන දේ කීවත් රජයකට එලෙස කටයුතු කරන්න බෑ – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
March 25, 2024 1:02 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සමගාමීව 2024 ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් මාර්ග සංවර්ධන කටයුතු ඓතිහාසික පොලොන්නරුව ගල් විහාර පරිශ්‍රයේ සිදු කෙරුණු උදෑසන කිරිපිඬු පුජාව ඇතුළු ආගමික වතාවත්වලින් අනතුරුව ආශීර්වාද ගනිමින් ඊයේ (24) ආරම්භ කෙරිණි.

ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා වශයෙන් ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් කෝටි දහසක මුල්‍ය ප්‍රතිපාදන 2024 අය-වැය යටතේ වෙන් කරන ලදි. ඒ යටතේ ග්‍රාමීය මට්ටමින් සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණයට ඒ ඒ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් හරහා යෝජනා ගෙන ඇත.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර – දියබෙදුම වී ගබඩාව සිට යාය 34 ගම්මානය දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ආරාධනයෙන්, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 49.90කි.

පොලොන්නරුව දිඹුලාගල පිඹුරත්තෑව ඓතිහාසික සිළුමිණ සෑය විහාරස්ථානයේ පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු ද ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

විහාරාධිපති අම්පාරේ කුසල නාහිමියන් විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව කෙටි කාලයකදී ඇමැතිවරයා විසින් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් විශාල වැදගත්කමක් සහිත සිළුමිණ සෑය විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය සංවර්ධනයට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 29.50කි.

දිඹුලාගල – කැකුළුවෙල කොස්ගහමුල සිට මල්දෙනිය ප්‍රධාන මාර්ගය කාපට් යොදා සංවර්ධනය ඇමැතිවරයා ප්‍රමුඛ ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 46.50කි.

වැලිකන්ද නව සේනපුර මංසන්දියේ සිට තීවුචේන දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට රුපියල් මිලියන 74.10ක්‌ වැය කෙරේ.

මැදිරිගිරිය විහාරගම සිට පාළුවද්දන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 36.80ක් ඇස්තමේන්තු ගත කර ඇත.

පොලොන්නරුව, හිඟුරක්ගොඩ, පාළුවැව සිට යුදඟනාව ගණදෙවි පිළිමය දක්වා රුපියල් මිලියන 73.50ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ද මේ යටතේ ආරම්භ කෙරිණි.

මේ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 10.30ක්‌ සංවර්ධනය කෙරෙන අතර, ඒ වෙනුවෙන් වැය කරන සමස්ත මුදල රුපියල් මිලියන 310කි.

සමාරම්භක උත්සවය අමතා අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස පැවැසීය.

“සමාජයේ ජීවත්වන ජනතාවට තම තමන්ගේ ගැටලු පුද්ගලිකව, තනිව විසඳා ගැනීමට හැකියාවක් නෑ. කොතරම් ධනයක් තිබුණත් අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම්, තනිව සලසාගැනීමට ජනතාවට හැකියාවක් නෑ. එම නිසා සමාජයක් එක්ව රජයක් පත් කර ගන්නවා. ඒ තමන්ට පුද්ගලිකව විසඳා ගත නොහැකි ගැටලු විසඳාගැනීම සඳහායි.

ඒ අනුව මහජනයාගෙන් රැස් කරගන්නා බදු මුදල් ප්‍රමුඛතාව අනුව විවිධ අරමුණු සඳහා වඩාත් පලදායිව යෙදවීමේ වගකීම රජයකට පැවරෙනවා. නමුත් කිසිදු දිනයක ආණ්ඩු බලයක් හොබවා නැති පිරිස් සිහින ලෝකවල සිට මොනතරම් දේ ප්‍රකාශ කළත් රජයකට එලෙස කටයුතු කිරීමේ හැකියාවක් නෑ.

කවුරුන් ආණ්ඩු බලය හෙබවුවත් ඒ සියලු අවශ්‍යතාව සඳහා මුදල් රැස් කරන්නේ ජනතාව මත පනවන බදු මඟින්. මේ සමාජයේ බදු නොගෙවන කිසිදු පුද්ගලයකු හමුවන්නේ නෑ. සෑම කෙනකුටම සෘජු හෝ වක්‍ර ලෙස බදු ගෙවීමට සිදු වෙනවා. රජයට ලැබෙන ප්‍රධානම ආදායම එලෙස ගන්නා බදු අදායමයි. නමුත් නිදහසින් පසු මෙරට කිසිදු රජයකට එදිනෙදා වියදම් පවත්වාගෙන යා හැකි තරමේ බදු ආදායමක් ලැබී නෑ. සෑම මසකම රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවිය යුතුයි. සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවිය යුතුයි. මේ සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා සෑම රජයකටම දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීමට සිදු වෙනවා. ඒ අනුව සිදු කර ඇති සෑම සංවර්ධන ව්‍යාපෘතියකටම වැය කර තිබෙන්නේ දේශීය සහ විදේශීය වශයෙන් ගත් ණය මුදල්. රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ගත් මේ ණය පසුගිය කාලයේ ගෙවීමට නොහැකිවී තිබෙනවා. ඒ හේතුවෙන් අපේ රටට තවදුරටත් ණය ආධාර දීම එම රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් අත්හිටුවා තිබෙනවා. එම නිසා රටේ සියලු සංවර්ධන කටයුතු ඇනහිට තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල උත්සාහයක් දරමින් අසල්වැසි ඉන්දියාව, චීනය, ජපානය, පැරිස් ආධාර කණ්ඩායම ඇතුළු සංවිධාන සමඟ මෙය ආපසු කිරීම පිළිබඳ එකඟතාවකට එළඹී තිබෙනවා. නමුත් තවමත් අවසන් ගිවිසුම අත්සන් තබා නෑ. රට එවැනි තත්ත්වයකට පත් නොවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිසක් මෙරටට පැමිණ පසුගිය සතියේ සාකච්ඡා හමාර කරනු ලැබුවා. ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ගමන් කරන්නේ පිහිතල ඇතිරූ මාර්ගයක බවයි. මේ අවදානම් සහගත මාර්ගයේ ගමන් කිරීමේදී අප සියලු දෙනා ආබාධිත විය හැකියි. එම නිසා මේ තීරණාත්මක මොහොතේ කිසිවකුටත් රට සමඟ සෙල්ලම් කිරීමට නොහැකියි. අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු කොතරම් ප්‍රමාණයක් පැවතුණත්, කවුරුන් විසින් රටේ ආණ්ඩු බලය හෙබවූවත් දැනට රජය සතුව පවතින මුදලින් මිස ප්‍රාතිහාර්යයකින් රට පාලනය කිරීමට හැකියාවක් නෑ. එම නිසා ප්‍රාදේශීය සභාවක බලය හැසිරවීම පිළිබඳ හෝ අවබෝධයක් නොමැති පිරිසකට රටක් පාලනය කිරීමට හැකියාවක් නෑ. කුමන ආකාරයේ පොරොන්දු දුන්නත් ප්‍රායෝගිකව එය සිදුකිරීමට ඔවුන්ට නොහැකියි. මේ තත්ත්වය අවබෝධ කර ගනිමින් දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව රටේ සියලුම පළාත් පියවරෙන් පියවර සංවර්ධනය කිරීම සඳහා කටයුතු කළ යුතුයි.”

මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, ග්‍රාමීය මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්දුල රණවීර, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහත්වරුන්, මහාමාර්ග අමාත්‍යාංශය, සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT