Home » මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි

by chanaka
March 24, 2024 7:47 am 0 comment

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අද(24)යි.

ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි.

සිංහල මාස ක්‍රමයට අනුව නව වසරක් ආරම්භ වනුයේ බක් මහෙනි. මැදින් මහෙන් වසරක් අවසන් වෙයි. නව වසරක් ආරම්භ වන බක් මහටත්, වසර අවසන්වීමට පෙර එළඹෙන නවම් මහටත් අතර මැදිව මැදින් මහ උදාවෙයි. තව ද හේමන්ත ඍතුවේ අවසාන කාලයත්, ගිම්හාන ඍතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් ය.
ඒ අනුව මධ්‍යය, මැද, අතර යන අරුතෙන් මැදින් මහ යන්න භාවිතයට එක්වී ඇති බව පැහැදිලි ය.

මෙම මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන් ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැගෙයි.

එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි.

වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙලීම, යමා මහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගන්නා බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT