ඩුබායි තරංග නමැති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුගේ ගෝලයෙකු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
46 හැවිරිදි ප්‍රධාන සැකකරු පානදුර වලාන අලුත් පාලම අසල වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, 24 හැවිරිදි පානදුර මෝදර සුනාමි නිවාස සංකීර්ණෙය් පදිංචි දෙවන සැකකරු හෙරොයින් ග්‍රෑම් 6 ක් සමඟ අත්අඩංගුවට ගෙන ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකතන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් දෙදෙනා පානදුර, මොරටුව, එගොඩඋයන ප්‍රදේශවල බහුල වශයෙන් මෙම ජාවාරම් සිදු කරන බවත් මීට අමතරව කළුතර, අලුත්ගම, බේරුවල ප්‍රදේශවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා දුරකතන පණිවිඩ ඔස්සේ පානදුර ප්‍රදේශයට ඔවුන් ගෙන්වාගෙන මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන සහ සහකාර පොලිස් අධිකාරී යූ. ඩී. එල්. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන උපුල් හර්ෂ, කේ. එම්. ඩී. මධුෂාන්, සැරයන්වරුන් වන ගුණේන්ද්‍ර (55301), සමන්තිලක (41104), ප්‍රසන්න (69479), ජයසූරිය (69615) සහ කොස්තාපල් තුෂාර (79335) වැටලීමට එක්වූහ.