සිය එකම දියණිය කාලාන්තරයක් තිස්සේ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ වැල්ලම්පිටිය ප්රදේශයේ කුලීකරුවකුට බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එයට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් හා රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කරන ලදි.
උසාවිය මඟහැර වරෙන්තු මත සිටි විත්තිකරු ඊයේ (18දා) පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. නඩුව විභාගයට ගත් අවස්ථාවේ චූදිත තමාට එරෙහිව ඉදිරිපත්වූ සියලු චෝදනා පිළිගන්නා ලදි.
කැලණි ගඟ සමීපයේ ජීවත්වූ චූදිත රෙදි සේදීමට හා පුතා නෑවීමට බිරිය යවා බාල දියණිය අපහරණය කර ඇති බව නඩු විභාගයේදී හෙළිවිය. නිවෙසේ මොවුන් දෙදෙනා පමණක් සිටින අවස්ථාවල දැරියගේ පියා උපන් ඇඳුමින් සිටිමින් දියණියට ද එසේ සිටින ලෙස තරවටු කර ඇත. වින්දිත දැරිය මේ සිදුවීම පාසලේ යෙහෙළියකට පවසා ඇත. ඇගෙන් මේ ගැන දැනගත් ගුරුවරියක් දැරිය ගෙන්වා තොරතුරු විමසා තිබේ. එහිදී දැරිය සියලු විස්තර ගුරුවරියට පවසා ඇත. ඉන්පසු ගුරුවරිය විදුහල්පතිවරයාට දන්වා නීතිමය ක්රියාමාර්ග ගෙන තිබේ.
2016 වසරේ නොවැ: 02දා සහ 2017 වසරේ නොවැ: 01දා අතර කාලය තුළදී බාල වයස්කාර දැරියක් බරපතළ ලෙස දූෂණය කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ දණ්ඩ නීති සංග්රහයේ 365 අ (2) වගන්තිය යටතේ නඩු පැවරීම සිදුව ඇත.
නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිරදඬුවම් නියම කර ඒවා එකවර ගෙවෙන ලෙස දඬුවම් නියම කරන ලදි.