Home » ලෝක කුසලානය දිනාගත හැකි කණ්ඩායම දැන් ශ්‍රී ලංකාව සතුයි

ලෝක කුසලානය දිනාගත හැකි කණ්ඩායම දැන් ශ්‍රී ලංකාව සතුයි

by sachintha
March 13, 2024 2:31 am 0 comment

ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වැදගත් නෑ තරග දිනන ක්‍රීඩා විලාසය වැදගත් – ලසිත් මාලිංග

ලෝක කුසලානය දිනාගත හැකි ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බව බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔප්පුකොට ඇතැයි ලොව විශ්මිත වේග පන්දු යවන ක්‍රීඩකයා වූ ලසිත් මාලිංග පවසයි. ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිල දැනට ලෝක ශ්‍රේණිගත කිරීමේදී සිටින ස්ථානය ලෝක කුසලානය දිනා ගැනීමේ සටන උදෙසා කිසිඳු වැදගත්කමක් නැති බවත්, ලෝක ජයග්‍රහණය උදෙසා වැදගත් වන්නේ තරග දිනාගත හැකි ක්‍රීඩා විලාසය බවත් ලසිත් මාලිංග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ විස්සයි20 තරගාවලි ජයග්‍රහණය පිළිබඳව ලසිත් මාලිංග මේ බව පැවසීය.

“හරිම සතුටුයි. අපි බැට් කරපු විදිහ, පන්දු යැවූ ආකාරය විශිෂ්ටයි. කුසල් මෙන්ඩිස් අවසන් තරගයේදී ලකුණු 80ක් ලබා ගත්තා. අපි හැමදාම කතා කරනවා කුසල් මෙන්ඩිස් ගැන. කොච්චර හොදට තරගයක් වෙනස් කරලා දෙන්න පුළුවන් ද කුසල්ට. ලොකු ලකුණු ගණනක් ගන්න පුළුවන් පෙරැළිකාර ක්‍රීඩකයෙක් කුසල් කියන්නේ. ඒ නිසා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙස ආදරෙන් බලන්න කියා මා ඉල්ලා සිටිනවා. නුවන් තුෂාර, වනිඳු හසරංග කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දෙයක් කළ හැකි ක්‍රීඩකයින් දෙන්නෙක්” ලසිත් මාලිංග පැවසීය.

“විස්සයි20 ලෝක කුසලානයට යනකොට හොඳ පන්දු යවන්නන් හා හොඳ පිතිකරුවන් ඉන්න කණ්ඩායමක් අපි. දැනට ඉන්නේ අපි විස්සයි20 ටේබල් එකේ කොතැන ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. 2014දී අපි ලෝක කුසලානය දිනන කොට ටේබල් එකේ ඉන්නේ කොතැනද කියලා බැලුවේ නෑ. අපි දිනන්න ක්‍රීඩා කළා. තරග ජය ගත්තා. අපිට විස්සයි20 හොද කණ්ඩායමක් ඉන්න බව ක්‍රිකට් බලන අපි සියලු දෙනා විශ්වාස කරයි. මේ හැමදේම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොදයි”

“අපි බලමු මින් ඉදිරියට නුවන් තුෂාරට ස්ථීර තැනක් ලැබෙන ආකාරය. එක තරගයක් අසාර්ථක වුණොත් එළියට දාන්නේ නැතිව තරග දීලා ඔහුගේ සේවය ගතයුතුයි. ඔහු දකුණු අප්‍රිකාවේ ෆ්‍රැන්චයිස් ක්‍රීඩා කළා. ඔහු මා සමඟ වැඩ කළා. ඉදිරියේදී අයිපීඑල් තරගාවලියට ඔහු යනවා. අයිපීඑල් ඉවර වෙලා නුවන් තුෂාර එනවිට තවත් පරිණත තත්ත්වයට එයි. ඒක ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වේවි” ලසිත් මාලිංග පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT