ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. රාමලාන් උලෙළ ආරම්භවීමත් සමඟ විශාලතම මුස්ලිම් බැතිමතුන් පිරිසක් සිටින බංග්ලාදේශයේදී මේ එක්දින තරගාවලිය ආරම්භවීම විශේෂත්වයකි.
බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ එක්දින තරගාවලියේ පළමු තරගයට සාර්ථකව මුහුණදීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසේ. බංග්ලාදේශයේදී ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය හමුවේ පිට පිට තරගාවලි පරාජ 2ක් පරාජයවී සිටින හෙයින් තම නිජ බිමේදී තුන්වැනි අඛණ්ඩ තරගාවලි පරාජයෙන් බේරී සිටීම බංග්ලාදේශයේ ප්‍රධාන අරමුණවී තිබේ.
චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය 2006දී එක්දින තරගයකට ක්‍රීඩා කොට ඇති අතර, එහිදී ශ්‍රී ලංකා පිල ලකුණු 78ක ජයක් වාර්තා කළේය. මෙතෙක් දෙරට අතර එක්දින තරග 54ක් පවත්වා එයින් ශ්‍රී ලංකාව තරග 42ක් හා බංග්ලාදේශය තරග 10ක් ජයගෙන තරග 2ක් විසදුමකින් තොරව අවසන්වී තිබේ.
දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත චැටෝග්‍රෑම් තණතිල්ලේ වේග පන්දු යවන්නන් රාත්‍රී කාලයේ ආලෝක තත්ත්වය යටතේ වාසි ලබාගෙන ඇත. මේ ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරග පහෙන් හතරක්ම මුලින් පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයගෙන ඇත. එබැවින් කාසියේ වාසිය දිනූ කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට පෙළැඹේ.
බංග්ලාදේශය පසුගිය වසරේදී සහභාගිවූ එක්දින තරග 32න් එකොළහක් පමණක් ජයග්‍රහණය කර ඇති බැවින්, ගෙවීගිය එක්දින තරග වාර්තා එතරම් යහපත් තත්ත්වයකට පත්ව නැත. එහෙත් ශ්‍රී ලංකා පිල 2023 වසරේ සිට මෙතෙක් සහභාගී වූ තරග 37න් 21ක් ජයග්‍රහණය කර වඩා හොඳ තත්ත්වයක සිටී.
තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් කණ්ඩායමේ නොසිටීම ඔවුන්ගේ ක්‍රීඩක අනුපිළිවෙළ සැකසීම කෙරෙහි බලපානු ඇති නමුත් මේ තරගාවලියේදී පිතිකරණ අනුපිළිවෙළ හැකිතාක් නොවෙනස්ව තබා ගැනීමට අවශ්‍ය බව නායක නජ්මුල් හොසේන් සැන්ටෝ පැවසීය.
“අපි කණ්ඩායමක් ලෙස පෙරළියකට සූදානම්ව සිටිනවා. අපි 2015 සහ 2022 අතර ඉතා හොඳින් ක්‍රීඩා කළා, නමුත් අපට නරක වසරක් තිබුණා. එහෙම වෙන්න පුළුවන්. අපි හැම විටම මේ මට්ටමේ අභියෝගවලට මුහුණ දෙනවා, ඒ නිසා අපි හොඳින් ක්‍රීඩා කිරීම වැදගත්. නවසීලන්ත සංචාරයේදී අපේ පෙළගැස්මේ වැඩි වෙනසක් කළේ නැහැ” සැන්ටෝ පැවසීය.
“චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ අපේ පන්දු යවන්නන් තණතිල්ල අනුව පන්දු යැවීම වැදගත්. ඒක අනිවාර්යයෙන්ම අභියෝගයක්. පන්දු යැවීමේ අංශය හොඳින් ක්‍රියාත්මකවීම අපට වැදගත්” බංග්ලාදේශ එක්දින නායකයාගේ අදහසවී තිබේ.
පසුගිය වසරේ නවසීලන්තයේ පැවති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 169ක් ලබාගත් සෞම්‍ය සාකාර් ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දක්වනු ඇතැයි බංග්ලාදේශ පිලේ අපේක්ෂාව වේ. විදෙස් තරගයකදී තමීම් ඉක්බාල් තබා තිබූ වසර 14ක් පැරණි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තාව සෞම්‍ය සාකාර් එහිදී බිඳ දැමුවේය.
ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් සමඟ විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද තරගයට සහභාගී වේ. වාර්තා පිට වාර්තා බිහිකළ පැතුම් නිශ්ශංක කෙරෙහි ශ්‍රී ලංකා පිල බලාපොරොත්තු තබා ඇත. පැතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව පිහිටුවා තවමත් උණුසුම මැකී ගොස් නැත. එමෙන්ම විස්සයි20 තරගාවලියේ වීරයා බවට පත් වූ දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා එක්දින පිතිකරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින කුසල් මෙන්ඩිස් එක්දින ඉනිම් 124කට සහභාගී වී ලකුණු 3755ක් රැස්කර ගෙන සිටී.
චරිත් අසලංක හා සධීර සමරවික්‍රම පිතිකරණ අනුපිළිවෙළෙහි ශක්තිමත් බව සහතික කරති. කෙසේ වෙතත්, විශාලතම තරග ජයග්‍රාහකයා බවට පසුගිය තරගවලදී කැපී පෙනෙණ මෙහෙවරක් කිරීමට වනිඳු හසරංග සමත් විය.
විස්සයි20 තරගාවලියේදී මෙන්ම මේ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් හා පන්දු යවන්නන් විශාල කාර්යභාරයක් කරනු ඇතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග විශ්වාසය පළ කළේය.
අද තරගයේ ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් මෙසේ වනු ඇතැයි අනාවැකි පළ වේ.
ශ්‍රී ලංකා පිල: අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග (නායක), මහේෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර
බංග්ලාදේශ පිල: සෞම්‍ය සර්කාර්, අනමුල් හක්, නජ්මුල් හොසේන් සැන්ටෝ (නායක), ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, මෙහිදි හසන් මිරාස්, ෂොරිෆුල් ඉස්ලාම්, තස්කින් අහමඩ්, රිෂාඩ් හොසේන්, මුස්තාෆිසුර් රහ්මන්
ප්‍රින්ස් ගුණසේකර