Home » බිග් මැච් යන්න ඥාතියාගේ වකුගඩු සායන පොත උස්සලා මත්පෙති අරන්

බිග් මැච් යන්න ඥාතියාගේ වකුගඩු සායන පොත උස්සලා මත්පෙති අරන්

by sachintha
March 13, 2024 2:45 am 0 comment

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පාසලක සිසුන් දෙදෙනාට ඇප

අධිමාත්‍රා සහිත මත්වන කරල් මිල දී ගත් කුරුණෑගල ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනාට දැඩි ලෙසට අවවාද කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත දෙදෙනා වෙන් වෙන් වශයෙන් මුදා හැරීමට මහව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර මහතා පෙරේදා (11) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ කුඹුක්ගැටේ හා මැල්සිරිපුර පොලිස් වසම්වල පදිංචි කුරුණෑගල නගරයට ඔබ්බෙන් පිහිටි ජනප්‍රිය පාසලක උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි. ඔවුන් කුරුණෑගල සිට පොල්පිතිගම ඔසුසලක් වෙතට පැමිණ කුරුණෑගල රෝහලේ මාසික සායනයට සහභාගි වන ඥාති වකුගඩු රෝගියකුගේ සායන පොතක් පෙන්නා අදාළ අධිමාත්‍රා සහිත කරල් ඔසුසලකින් ඉල්ලා තිබේ.

එහෙත් කුරුණෑගල එම සායනයට ඊට පෙර දිනයක සහභාගි වී සියලු බෙහෙත් වර්ග ලබා තිබියදීත් මෙම දෙදෙනා නැවත ඒවා ලබා ගන්නේ කෙසේ දැයි යන්න මතු වූ සැකය හේතුවෙන් ලද තොරතුරු මත ඔවුන් දෙදෙනා ඔසුසල අසලදීම අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි.

ඔසුසලෙන් මිල දී ගත් අධිමාත්‍රා සහිත කරල් අතරින් කරල් දෙකක් ඔවුන් ඒ වනවිටත් පානය කර තිබූ බවද, අත්අඩංගුවට ගත් බව නොදත් අනිකුත් සිසුන් ඒවා මිල දී ගත්තාද කියා නොඉවසිල්ලෙන් යුතුව දුරකතන ඔස්සේ වරින් වර කරුණු විමසීම තුළ මෙම සිසුන් කාලයක සිට මේවා පානය කරන්නට හුරු වී සිටින බවද පොලිසිය පෙන්වා දෙයි.

පාසලේ පැවැත්වෙන ක්‍රිකට් මහා සංග්‍රාමයකට සහභාගිවන තමන් ඇතුළු මිතුරන්ට පානය කිරීමට දීමට ඒවා රැගෙන යාමට දුර කතර ගෙවාගෙන නාඳුනන පෙදෙසකට පැමිණි බව සිසුන් දෙදෙනා පොලිසිය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් පාසල් නොගොස් අන් අයෙකුගේ සායන පොතක් රැගෙන කාලය මිඩංගු කරමින් ඔවුන් යන එන තැන් ගැන අවධානය යොමු නොකර අත්අඩංගුවේ පසුවන දරුවන් තම පවුල්වල වත් පොහොසත්කම් පෙන්වා සිද්ධිය සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශ්වයේම උදවිය කටයුතු කළත් ඊට ඉඩ නොදි අන් පරපුරට හැදෙන්නට දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතා පැවසීය.

මේ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවෙන වකුගඩු, පිළිකා ආදි රෝගවලින් පෙළෙන රෝගින්ගේ වේදනාව සමනය කරන්න‍ට දෙන මෙම අධිමාත්‍රා ඉක්මවා ගන්නා අය මත් වන බවත්, ඊට ඇබ්බැහි වූවන් රුපියල් 35කට පමණ අලෙවි කරන මෙම කරලක් රුපියල් 4000 – 6000 අතරේ මුදලකට වුවද මිල දී ගෙන පානය කරන බවත්, තවත් පිරිස් එවැනි මිල ගණන්වලට මේවා අලෙවි කිරීමේ ජාවාරම්වල නියැළෙන බවත් ඔසුසල් හිමියෝ ද අප වෙත පැවසූහ.

මෙම සිද්ධිය සම්බන්ධව නඩුව නැවත මැයි මස 16 වැනි දිනට විභාග වීමට නියමිතය.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT