කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක
අපි කර ගත් ලොකුම වැරැද්ද ණය අරන් අනිසි පරිභෝජනයට යොදා ගැනීමය
රටේ ආදායමෙන් වියදම පියවා ගත යුතුයි
නිලධාරිවාදයට විසඳුම් නොදීම ණය අර්බුදය ඇති වීමට හේතුවක්
හොර රහසේ හම්බ කරන අය බදු දැලෙන් පළා යනවා
වර්තමාන ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතු මොනවාද? ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ගත යුතු පියවර මොනවාද? ඒ සඳහා ආරම්භ කළ යුතු නව ක්‍රමවේද තිබේද? යන්න ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
l ණය අර්බුදය කියන්නේ කුමක්ද සහ ඊට විසඳුම් මොනවාදැයි යන්න ගැන පැහැදිලි කළ හැකිද?
ණය අර්බුදය ඇති වීමට මූලික හේතු දෙකක් තිබෙනවා. මෙය මෑත කාලීනව සිදු වුණ දෙයක් නොවෙයි. ප්‍රධානම දේ අපේ රටේ අභ්‍යන්තර තුලනය ඒ කියන්නේ රටේ ආදායම මඟින් රටේ වියදම පියවා ගැනීම සිදු කළ යුතුව තිබෙනවා. අය වැයකින් සිදු කරනු ලබන්නේ එයයි. ඒත්, අවුරුදු හැත්තෑවක සිට අප අනුගමනය කළේ හිඟ අය වැය ප්‍රතිපත්තියයි. එතැනදී තමයි අර්බුදය මතු වුණේ. අප බලන්න ඕනෑ මේ අය වැය හිඟය පියවාගත්තේ කොහොමද කියලා. මේ හිඟය පියවන්න මූලාශ්‍ර දෙකක් තිබුණා. ඒ ස්වභාවික සම්පත් සහ ජාතික සම්පත් විකුණා ආදායම් සෙවීමයි. විවිධ කාලවල මේ විදිහට වැඩ කර තිබෙනවා. ඒත්, මේ දේවල් පවා කාලයත් සමඟ ක්ෂය වෙනවා. අවසානයේ ආර්ථික මර්මස්ථාන පවා විකුණා දැමිය යුතු තැනට අප පත් වුණා. ඒ ක්‍රමයෙන් පසු අප අනුගමනය කළ අනෙක් ක්‍රමය වූයේ ණය ගැනීමයි. එහිදී ණය ගන්නා ක්‍රම දෙකක් තිබුණා. ඉන් පළමු වැන්න වුණේ, දේශීය ණය ලබා ගැනීමයි. අනෙක් ක්‍රමය වූයේ විදේශීය ණය ලබා ගැනීමයි. දේශීය ණය ගන්න තියෙන මූලාශ්‍ර අල්පයි. ඒ නිසා අපි 50 දශකයේ සිටම විදේශීය ණය ගැන විශ්වාස කළා. අප ගත් ණයවලින් ආයෝජනය කළා නම්, එයින් ලැබෙන ආදායම්වලින් ණය පියවන්න තිබුණා. නිදසුනක් පෙන්වන්නම් 1986 වික්ටෝරියා ජලාශය විවෘත කරද්දි එදා සිටි ජනාධිපති ජයවර්ධන මහතා කීවා මෙයින් ලැබෙන අතිරේක විදුලිය අසල්වැසි රටවලට ලබාදී ආදායමක් ලබා ගන්න පුළුවන් බව. ඒ කියූ විදිහට අපට විදුලිය විදේශවලට අලෙවි කිරීමට ඉඩ තිබුණා නම්, අපට සතුටු වෙන්න තිබුණා. අපි දැන් ආර්ථික වශයෙන් සශ්‍රීකයි කියලා. රාජ්‍ය නායකයා එහෙම කිවුවත් 1989 වෙද්දී රටට විදුලිය නැතිව කළුවර වුණා. ඒ තත්ත්වය තුළ අපට ඒ ණය බේරා ගැනීම ගැන විශාල ගැටළුවක් වුණා. මේ ණය වාරික සහ පොලී ගෙවා ගන්න බැරිව අපි තවත් ණය ගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට අපි ණය උගුලකට හසු වුණා. ඒ නිසා අපට ණය මත යැපීමට සිදු වුණා. අපි ණය ගත්තේ මූලික මූලධර්මවලින් තොරව එහිදී මූලික වශයෙන් ණය ගැනීමේ අරමුණ සඳහා මූලික කටයුතු කිරීම, දෙවැන්න ණය නිසි ලෙස කළමනාකරණය කිරී, තුන්වැන්න ණය ආපසු නියමිත පරිදි ගෙවීම සිදු වුණේ නැහැ. අපි ඒ විදිහට තමයි ණය උගුලට පැටලුණේ. ඒත්, අප ණය උගුටල හසුවුණේ කොහොමද කියලා හේතු හෙවුවේ නැහැ. කොවිඩ් අර්බුදය තුළ අපට ණය තවදුරටත් ණය ලබා ගැනීමට බැරි වීම නිසසි මේ උගුලේ පැටලුණේ. එදා අපට නැවතත් ණයක් ලැබුණා නම් අදත් අපට මේ අර්බුදය නොවී තිබෙන්නට තිබුණා. එහෙනම් අදත් ගෝඨභය ජනාධිපතිවරයා බලයේ ඉන්නටත් ඉඩ තිබුණා. සිදු වුණ ලොකුම වැරැද්ද වුණේ ණය ගැනීම නොවෙයි ණය අරන් අනිසි පරිභෝජනයට යොදා ගැනීමයි.
අපේ රාජ්‍ය ආයතනවල ආදායමට වඩා වියදම ඉහළ ගියා. දුම්රිය, විදුලිය, තෙල් සංස්ථාව වගේ ආයතනවලට. ඒත් ජනතාව මේ ආයතනවලින් සිය අවශ්‍යතා ඉටු කර ගත්තේ මුදල් ගෙවලා, විදුලිය පාවිච්චි කළේ බිල් ගෙවලා, තෙල් ගැහුවෙ සල්ලි දීලා. එහෙම නම් මේ ආයතන පාඩු වුණේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. මේ බංකොලොත් වූ ආයතන නඩත්තු කරන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ගෙවුවා. භාණ්ඩාගාරයට සල්ලි එන්නේ මහජන බදු මුදල්වලින්. මේ බදු මුදල් මදි වෙනකොට විදේශ ණයවලින් මේ ආයතන නඩත්තු කළා.
l ඇත්තෙන්ම මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද?
මේ තත්ත්වයට වග කියන්න ඕනෑ ආණ්ඩුව ද නැතිනම් රජය ද කියන දේ සලකා බැලිය යුතුයි. මේ රාජ්‍ය ආයතනවල සභාපති, ලේකම්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට පහළට විශාල සේවක මණ්ඩලයක් සිටිනවා. මේ අය නඩත්තු කරන්න තමයි, මේ ණය අරන් තිබෙන්නේ. ඒත්, 225ට මුවා වෙලා මේ නිලධාරී පැලැන්තිය කළ හොරමැරකම් ගැන කවුරුත් කතා කළේ නැහැ. අද දේශපාලනඥයන්ගේ කැමැත්ත අනුව ද මහ බැංකුව පඩි වැඩි කරගෙන ඉන්නේ. මහ බැංකු පඩි වැඩි කර ගැනීමට 225න් අති බහුතරයක් විරුද්ධයි. හැන්ද අතේ තියන් ඉන්න අය තමන්ට බෙදා ගැනීම නිවැරැදි ද මැති ඇමැතිවරු විතර ද රට බංකොලොත් කර තිබෙන්නේ. මේ වන විට දේශපාලන යන්ත්‍රණය විතරක් නොවෙයි, රාජ්‍ය නිලධාරී තන්ත්‍රයම මජර තැනකට වැටිලා තිබෙන්නේ. පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ප්‍රමාද නිසා දිනකට මිනිස් පැය දෙදහසක් නිකරුණේ නාස්තිවන බව සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. මේ සියලු ප්‍රමාදයන් සිදු වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසයි. මේ නිලධාරිවාදයට විසඳුම් නොදීම තමයි ණය අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තිබෙන්නේ. මේ රාජ්‍ය ආයතන බංකොලොත් වුණාට රාජ්‍ය ආයතනවල වැඩ කළ අය බංකොලොත් වෙලා නැහැ.
අද ආර්ථිකය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙලා කියලා කියන්න බැහැ.මධ්‍යම පන්තියට යම් සහනයක් ලැබිලා තිබෙනවා.දැන් තෙල් ටික ගේන්න ගෑස් ටික ගේන්න විදෙස් විනිමය යම් ප්‍රමාණයක් ලැබෙනවා. සංචාරකයෝ නැවත එනවා. විදෙස් ශ්‍රමිකයෝ සල්ලි එවන නිසා අපට විදේශ ප්‍රේෂණ එනවා.ඒ නිසා ණය අර්බුදය විසඳුනා වගේ පෙනුණත් ඒ ණය අර්බුදවලට ලැබුණ විසඳුමක් විදිහට හිතන්න බැහැ.
l ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වාරික දෙකක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳ ඔබේ විමසුම පැහැදිලි කළ හැකිද?
අපට ණය වාරික දෙකක් ලැබීමත් සමඟ අප රට පිළිබඳව ජාත්‍යන්තරම පිරිහී තිබූ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. දැන් අපට ව්‍යාපාරික ප්‍රජාවට, ජාත්‍යන්තර ප්‍රජාවට අපේ රටට නැවත එන්න ආයෝජනය කරන්න කියලා ආරාධනා කිරීමට ශක්තිය සහ විශ්වාසය ගොඩනැඟී තිබෙනවා.
l බදු ප්‍රතිපත්තිය සහ ඒ ආශ්‍රිතව ඇතිව තිබෙන ගැටලු පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
අපේ ආර්ථිකය ස්ථාවර බව පෙන්වා දුන්නේ අසීමාන්තික විදිහට බදු අයකරලා. ඒත්, හොර රහසේ හම්බ කරන අය බදු දැලෙන් පලා යනවා. ඒ ගැන විමසුවාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෝප් කමිටුවට කීව ඒ ගැන පියවරක් ගන්න ඔවුනට බැහැ කියලා. එහෙනම් ඒ අයගේ රස්සාව මොකක්ද,දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තමන් අයකරගත යුතු බදු එකතු කර ගන්න බැරි නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න ඕනෑ. තමන්ගේ වගකීම ඉටු කරන්න බැරි නම්, එවැනි රාජ්‍ය ආයතනවලින් නිදහසට කරුණු අසන්න ඕනෑ. ඒත්, මෙවැනි ගැටලුවලදී ඒවාට නිසි විසඳුම් ලබාදීමට අද ආණ්ඩුව තුළ සිට පක්ෂව කතා කරන අයට හෝ ආණ්ඩුවෙන් පිටත සිට විරුද්ධව කතා කරන අයට සැලසුමක් තිබෙනවාද මේ ගැන වැඩ කිරීමට. ඒත්, අද තදබල විවේචන එල්ල කරන අය හෝ තදබල ලෙස පක්ෂපාත වන අය රටේ මෙවැනි ගැටලුවලට නිසි විසඳුමක් හෝ වැඩපිළිවෙළක් පෙන්වා දී නැහැ.
l රටට අවශ්‍ය කරන වෙනස ඇති කරන්නේ කොහොමද?
1948 නිදහසෙන් පසු අපි කීපාරක් ආණ්ඩු වෙනස් කර තිබෙනවාද? ඒත්, විසඳුම් ලැබිලා තිබෙනවාද? මැති ඇමැතිවරු කීපාරක් ගෙදර යවා තිබෙනවාද? කීපාරක් ආණ්ඩු වෙනස් කර තිබෙනවාද? ඒත්, ප්‍රතිඵල ලැබුණාද? ඒ නිසා කළ යුතුව තිබෙන්නේ ආණ්ඩු වෙනස් කිරීම පමණක් නොවෙයි මේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය තන්ත්‍රයම වෙනස් කිරීමයි.
l ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නිෂ්පාදනය වැඩි කරන සැලැස්මක් අවශ්‍ය වෙනවා නේද, ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
අපි ඉතිහාසයේ සිටම කෘෂිකාර්මික රටක් ඒ නිසා අඩුම වශයෙන් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය හෝ අපිම නිෂ්පාදනය කර ගන්න ඕනෑ. ඒත්, අඩුම වශයෙන් මේ ද්‍රව්‍ය ටික නිෂ්පාදනය කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට හෝ දේශපාලනඥයන් හට තිබෙන සැලසුම කුමක්ද? ඇත්තෙන්ම ඒ විදිහේ සැලසුමක් නැහැ. ඇත්තෙන්ම අපි ණය අරගෙන පාරිභෝජනය කළාට නිසි නිෂ්පාදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපි සිතුවිලිවලින් තාම දුප්පත්, අපේ සිතුවිලි මූලික වශයෙන් පොහොසත් කර ගැනීමට හැකියාව ලැබෙන්න ඕනෑ. අද තිබෙන තත්ත්වය ගැන පිරිසක් වන්දිභට්ටකම් කරනවා. තවත් පිරිසක් වෛරය පතුරුවනවා. ද්වේෂය පතුරුවනවා. මේ වගේ රටක් කොහොමද දියුණු වෙන්නේ. ඇත්තෙන්ම වන්දිභට්ටකම් කරන සහ ද්වේෂය වෛරය පතුරන දෙපිරිසක් මැද රට මේ තරමින් හෝ තිබීම ගැන සතුටු වෙන්න ඕනෑ.
l අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සහ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වූ කාර්යභාරය සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු විය යුතු බවට අදහසක් තිබෙනවා, ඇත්තෙන්ම ඒ අදහස ගැන ඔබ හිතන්නේ මොකක්ද?
බලය පිළිබඳ පුද්ගලික න්‍යායපත්‍ර තිබෙන අය කිසිම දවසක රට වෙනුවෙන් එකතු වෙන්නේ නැහැ. මේ සියලු පාර්ශ්වවලට තම තමන්ට ආවේණික පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර තිබෙනවා. ඒ නිසා කිසිවකු අවංකව මේ වගේ තීරණයක් ගන්නේ නැහැ. එහෙත් ඡන්දදායකයන් විදිහට අපට සියලු දෙනා එකතු කරන්න පුළුවන් ශක්තියක් තිබෙනවා. ඇත්තෙන්ම අපේ රට විනාශයට යාමට මූලික කරුණක් වූයේ එක් එක් පක්ෂ වෙත අධික ලෙස බලය ලබාදීමයි. මූලිකව අප ජේ. ආර්. ජයවර්ධන මහතාට හයෙන් පහක දැවැන්ත බලයක් ලබා දුන්නා. ඒ පාලනය අවුරුදු දාහතක දීර්ඝ පාලනයක් වුණා. ඉන්පසු චන්ද්‍රිකා මහත්මියට සියයට හැට දෙකක බලයක් ලබා දුන්නා. ඒත් අඩුම තරමේ ඇයට බැරි වුණා යුද්ධය අවසන් කිරීමටවත්. මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක් ලැබුණා, ගෝඨාභය මහතාට ලක්ෂ හැටනවයක් ඡන්ද ලැබුණා. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබුණා. ඒත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලැබුණේ නැහැ.
දැන් නැවත මැතිවරණයකදී කළ යුතුව තිබෙන්නේ ප්‍රධාන පක්ෂවලට තනි බලයක් නොදී ආසන හැට, පනහ, හැත්තෑව හතළිහ වගේ ගොඩවල් කිහිපයක් ඇති කිරීමයි. එමඟින් මේ අයට බල කෙරෙනවා ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න නම් එකතු වෙන්න කියලා. ඒ වගේ ක්‍රමයක් තුළ කාටවත් වංචා කරන්න බැහැ, ඒ ඒ කණ්ඩායම් අවධානයෙන් ඉන්නේ, අවශ්‍ය කණ්ඩායමකට විපක්ෂයට යන්නත් පුළුවන්. මේ වගේ තත්ත්වයන් අපට නුහුරු දේවල් වුණාට විදේශවල මෙවැනි සන්ධාන ආණ්ඩු ඕනෑ තරම් ඇති වෙනවා. ඒ වගේ සමඟි ආණ්ඩුවකින් අප අද බලාපොරොත්තු වන සාමූහිකත්වය ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා.
l නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කිරීම මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හොඳ මඟක් විදිහට සලකන්න පුළුවන් නේද?
අනිවාර්යෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුයි. උදාහරණයක් විදිහට කහ පිට රටින් ගෙන ඒම නැවැත්වූ පසු කහවලට ආර්ථික වටිනාකමක් ලැබුණානෙ. එදා ඒ තීන්දුව නොගත්තනම් අදටත් කහ පිටරටින් ගෙනෙනවා. ඒ අනුව දේශීය වශයෙන් වගා කරන්න පුළුවන් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන කළ යුතුයි. මම කියන්නේ නැහැ අපට මෙහි නිෂ්පාදනය කර පාඩුවන සහ විදේශයන්ගෙන් ගෙනාවොත් ලාභ ලබන ද්‍රව්‍ය මෙරට නිපදවන්න කියලා.
මම කියන්නේ මූලික වශයෙන් රටක් දියුණු වෙන්න නම් තමන්ගේ ආහාර වේලෙන් සියයට අසූවක් දේශීය දේ තිබෙන්න ඕනෑ. අද වෙන්නේ ඒක නොවෙයි අපේ බත් පතේ සියයට හතළිස් දෙකක් විදේශීය සහල් පරිප්පු ලූනු, අල ඇතුළු බොහෝ දේවල් ආනයනය කළ ඒවා.පාන් පිටි ආහාර ගත්තොත් සියයට සියයක් විදේශීයයි. අද වෙලා තිබෙන්නේ පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතරට අතර මැදියෝ ඇවිත් දැවැන්ත මිල පරතරයක් ඇති වීම. පසු අස්වනු තාක්ෂණය නැහැ. ඒ නිසා අස්වනු විනාශය වැඩියි. අස්වනු සුරක්ෂිතභාවය අඩුයි. ඒ නිසා දේශීයව නව වැඩපිළිවෙළ ඇති කළ යුතුයි. එහෙම වුණොත් අපට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්.
උදිත ගුණවර්ධන
ඡායාරූපය – සුදත් මලවීර