කුඹුරක තිබූ නිධානයකින් ලබා ගත් දඹරන් පිළිමයක් බව කියන, බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 50ක මුදලකට විකිණීමට ගිය දේවාලයක් පවත්වා ගෙන යන වයෝවෘද්ධ කාන්තාවක්, මැණික් ගල්වලට සමාන ගල් හතරක් සමඟ ඊයේ (04) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගල්නෑව කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.
බුදු පිළිමයක් විකිණීමට යන බවට අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදු කර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් උපාය දූතයෙකු යොදවා දඹරන් පිළිමය මිලදී ගන්නා බවට පවසා, ගැනුම්කරුවෙකු ලෙස ගොස් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දේවාලයට පැමිණි පුද්ගලයෙකු හට දේවාරූඪයෙන් සාස්තර කියන අවස්ථාවේදී අසල කුඹුරක ගල්තලාවක මෙම පිළිමය තිබෙන බවට පැවසීමෙන් අනතුරුව ගල්තලාවේ, අදාළ ස්ථානයේ ගල්පතුරක් කැඩීමේදී, මෙම මැණික් ගල් හතර සහ පිළිමය හමුවූ බව සැකකාරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය පවසයි.
සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ පුද පූජා පවත්වන බුදු පිළිමය අසල වතුර පිරවූ වීදුරු බෝතලයක දමා තිබී, මැණික් ගල්වලට සමාන එම ලා නිල් පැහැති ගල් හතරද හමුවූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගල්නෑව පොලිසියට භාර දුන් බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි