කවියන් අවදි කළ පුළුල් භාෂාවක් සිංහල ජාතිය සතුව ඇති බවත්, සිංහල භාෂාව පවතින්නේ සංඛ්‍යා ලේඛනවලින් පමණක් නොවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත ‘තරු යතුර’ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.
“ජාතියට පණදෙන්න පුළුවන්, ජාතියක් ජීවත් කරවන්න පුළුවන් අපේ අනන්‍යතාව තහවුරු කරන උසස් මිනිස් ගුණාංගවලින් පිරුණු අපේ උරුමය යළි යළි කියාපාන අභිමානවත් පිරිසක් සිටිනවා. ඒ නිසාමයි අපට ඉතිහාසයේ පවත්නා ජාතිය යළි යළි සිහිපත් කරන්නට පුළුවන්. කොහොමත් ලොව මවිත කරන්න අපට පුළුවන්. අපේ භාෂාව උතුම් භාෂාවක් ලෙස පෝෂණය කර වඩාත් රසවත් කරන්නට අපේ රටවැසියාට අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් ආකර්ෂණීය දෙයක් බවට නොනැවතී දුවන ගංගාවක් පවතිනවා. භෞතික දේවල් අපට අල්ලන්න පුළුවන්. අතට දැනෙනවා. කයට දැනෙනවා. නමුත් එලෙස අතට හසුවන, පයට ගැටෙන දේවල්වලින් තොර දෙයක් නිර්මාණය කරන්න අපේ රටේ කවි සීපද නිර්මාණය වුණා. ඉස්සර වන්දනාවෙ යන කාලෙ රේඩියෝ තිබුණෙ නෑ. ටෙලිවිෂන් තිබුණෙ නෑ. බොහෝ තැන්වල අපේ ගැමියන් අස්වැන්න නෙළා සියලු පින්කම් ඉෂ්ට කරලා වන්දනාවෙ ගියා. වන්දනා කරන්න දේවල් තිබුණා. වන්දනා කළ නිසාම ජාතියක් පෝෂණය වුණා. ඒ නිසා මම සිහි කරන්නේ මේ වෙනුවෙන් අපේ ගෞරවය පුදන්න ඕනෙ. කවි ගැන සිහිපත් කරනකොට අපේ කවියන් අවදි කළ මහා නිදහස් සටන යළි යළිත් සිහිපත් වෙනවා. අපේ කවියන් අවදි කළ මහා භාෂාවක් අපට තිබුණා. භාෂාව පවතින්නේ සංඛ්‍යා ලේඛනවලින් නෙමෙයි. සිංහල භාෂාව පැවතුණේ ආරයෙන් ගෙනා දේවල්වලින්. මම රෝහණට ස්තූතිවන්ත වෙනවා, මොකද ඔහුගේ දැනුම, අත්දැකීම් සම්භාරය, නිර්මාණශීලිත්වය ආසියානු කලා සංස්කෘතික සංගමය ඒකාබද්ධව රටටම ඉදිරිපත් කිරීම සම්බන්ධව.”
අගමැති මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ මහතා- “මාස ගාණක ප්‍රයත්නයක්. අවුරුදු ගාණක ප්‍රයත්නයක්. අවුරුදු ගාණක් තිස්සෙ දැනුණ දේ කිවුවා. අපට කරන්න බැරි වුණ බොහෝ දේ තියෙනවා. බොහෝ අවස්ථාවල කවියෙන් බොහෝ දේවල් ඉදිරියට ගේන්න කවිය අවියක් හැටියට භාවිත කරන්න පුළුවන් වෙනවා. අපට කරන්න පුළුවන් බොහෝ දේ අපි කරනවා. ඒක ඉදිරියටත් එහෙමමයි.
විෂය නිර්දේශ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි. අගමැතිවරයා අධ්‍යාපන ඇමැතිවරයාව සිටින කාලයේ අපි මාස ගාණක් උත්සාහ කළා සමහර දේවල් වෙනස් කරන්න. නමුත් මම දන්නෙ නෑ අපට කොච්චරක් කරන්න පුළුවන් වුණා ද කියලා. දරුවකුගේ පාසල් කාලය අවුරුදු එකහමාරකින් අඩු කරන්න අපි බොහෝ දේවල් කළා. නමුත් ඉන්නකම් කරන්න හම්බ වුණේ නෑ. නමුත් දැන් සතුටු වෙන්න පුළුවන් ඒ සංකල්පය නැවත ඇවිල්ලා තිබෙනවා. නමුත් තවමත් රාජ්‍ය සේවයේ ඔක්කොම එක වගේ නෑ.
ශාස්ත්‍රපති පැලැන්වත්තේ සෝභිත හිමි-“පාසල් සමයේ සිට මේ තාක් මා ළඟින් ඇසුරු කළ කල්‍යාණ මිත්‍රයෙක් ලලිත් රෝහණ කියන්නෙ. සංකල්ප ගොඩනැඟෙන්නේ කුඩා කලයේ සිටමයි. මැක්සිම් ගෝර්කි කියනවා ජීව ලෝකය පවතින්නේ මවුකිරිත් හිරු කිරණත් නිසයි කියලා. අපි සියලු දෙනා කිරෙන් යැපුණු දරුවන්. තොටිල්ල පදවන දෑත හෙට ලොව පාලනය කරයි කියලා කියමනක් තියෙනවා. වයලට් වැලිවත්ත කියන්නේ කිවිඳියක්. ඇය ලේඛිකාවක්. කොළඹ යුගයේ ඇය කවිකාරියක් කවි සංකල්ප හොඳට තිබුණු. ඇය ප්‍රබල චරිතයක්. ඇගේ සැමියා දරුවන් කුඩා කල මේ ලෝකෙන් සමුගන්නවා. දරුවන් පෝෂණය කරන්න වත්ත පිටියේ, කුඹුරුවල වැඩ කරන්න ඇය සමඟ දරුවනුත් හුරුවෙනවා. ඒ පුංචි කාලේ ඉඳන් ගොඩනැඟුණු සංකල්පයි මේ පැමිණ තිබෙන්නෙ. ඇය කවුරුවත් නෙවෙයි. මේ ගත් කතුවරයාගේ මවයි. මේ දැනුම් සොයාගෙන ගිය ඉතිහාස ගවේෂණයේ මේ සියල්ලෙම ඉන්න ඇත්තේ අම්මා. අද මේ ලෝකේ නැති අම්මව මේ පුටුවේ වාඩි වෙලා සිටින විට සිහිවුණා. ලෝකයට දෑස් පාදන්න පුතෙක් බිහි කරනවා.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණී ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, ශ්‍රීනාත් ගණේවත්ත, සුනිල් සරත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
සුභාෂිණී සේනානායක සහ නෙත්මි පූජනී රත්නායක