Monday, April 21, 2025
Home » ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම් ක්‍රියාකාරීත්වයනට නව මානයක්

ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම් ක්‍රියාකාරීත්වයනට නව මානයක්

by sachintha
March 5, 2024 2:36 am 0 comment

ශ්‍රී ලංකාව විවිධ රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සම්බන්ධයෙන් කතිකාවක් යළිත් ඇතිව තිබේ. ඒ අනුව 2024 පෙබරවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන ලද අතර මෙම වසර අවසානය වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා මෑතකදී ප්‍රකාශ කරන ලදී. මේ අතර ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිත ඉන්දීය ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමේ (ETCA)13 වටයේ සාකච්ඡා 2024 ජනවාරි මාසයේ නවදිල්ලියේ පැවැති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. මින් අදහස් වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ඉතාමත් නුදුරේ යළි වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිත බවයි.

මීට පෙරද ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ මෙන්ම ඉන්දියාව ද ඇතුළත්ව වෙනත් රටවල් කීපයක් සමඟ ද වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබේ.

එසේ ඇති කරගත් පළමු ගිවිසුම වනුයේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (SAAR) සාමාජික රටවල් සමඟ 1995 දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක වූ දකුණු ආසියා වරණීය වෙළෙඳ ගිවිසුමයි (South Asian Preferential Trade Arrangement – SAPTA). ඉන් අනතුරුව 2000 මාර්තු මස සිට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමත් (The Indo – Sri Lanka Free Trade Agreement – ISFTA), නැවත සාර්ක් රටවල් සමඟ 2006 ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන ලද දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුමත් (South Asian Free Trade Area-SAFTA) ඇති කර ගන්නා ලදී.

මෑත කාලීන ප්‍රවණතා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය දශක දෙකක කාලය තුළ පැවැති වෙළෙඳාමේ ස්වභාවය පරීක්ෂා කර බැලුවහොත්, 2001 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු වූ මුළු වෙළෙඳාම (ආනයන සහ අපනයනවල එකතුව) අ‍ෙමරිකානු ඩොලර් මිලියන 670.12ක් වූ අතර 2022 දී එය ඩොලර් මිලියන 5435.43ක් දක්වා 7 ගුණයකින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව ඉන්දියාවට කළ අපනයන සලකා බැලුවහොත් 2001 වසරේදී අපනයනය කළ භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 70.18ක් වූ අතර එය 2011 වසරේ ඩොලර් මිලියන 521.59ක් දක්වාත් 2022 වසරේ ඩොලර් මිලියන 854.88ක් දක්වාත් වැඩි වී ඇත. මුල් දශකයේදී අපනයන වටිනාකම 6.4 ගුණයකින් වැඩි වී ඇති අතර දෙවන දශකයේදී එය වැඩි වී ඇත්තේ 0.6 ගුණයකිනි. තවද 2001 වසරේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 601ක් වූ අතර 2011 දී එය ඩොලර් මිලියන 4349.43 දක්වාත්, 2022 දී ඩොලර් මිලියන 4580.55ක් දක්වා ඉහළ ගොස් ඇත. පළමු දශකයේදී ආනයන වටිනාකම 6.2 ගුණයකින් වැඩි වූ අතර දෙවන දශකයේ දී එය වැඩි වී ඇත්තේ 0.05 ක් ගුණයකින් නැතහොත් 5% කින් පමණි. කෙසේ වෙතත් මෙම කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ශේෂය ඩොලර් මිලියන – 531 සිට ඩොලර් මිලියන – 3726 දක්වා ආසන්න වශයෙන් 7 ගුණයකින් පමණ වැඩි වී ඇත. කෙසේ වෙතත් රටවල් දෙක අතර ආනයන, අපනයන අනුපාතය ගත්තොත් 2001 දී එය 8.5ක් වූ අතර 2011 දී 8.3ක් දක්වාද, 2022 දී එය 5.4 දක්වා ද අඩු වී ඇත. මින් අදහස් වන්නේ වෙළඳ ශේෂය දුර්වල වුවද එහි පරතරය ක්‍රමයෙන් අඩුවන බවයි. නැතහොත් ආනයන වැඩිවීමේ වේගයට වඩා අපනයන වැඩිවීමේ වේගය වැඩි බවයි.

මෙම දත්තවලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳාම අඛණ්ඩව වැඩි වී ඇති බවත්, වෙළඳාම වැඩිවීමේ වේගය මෑත වසරවලදී අඩු වී ඇති බවය.

ඉන්දියාව වෙළඳ හවුල්කරුවෙක් ද?

2022 වසරේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඩොලර් බිලියන 13.1ක් වූ අතර අමෙරිකාවට කළ අපනයන මුළු අපනයනවලින් 25.3%ක් වන අතර එක්සත් රාජධානියට කළ අපනයන 7.4%ක් වේ. ඉන්දියාවට කළ අපනයන මුළු අපනයනයන්ගෙන් 6.7%ක් නැතහොත් ඩොලර් බිලියන 0.855 ක් පමණ වේ . 2022 වසරේදී ශ්‍රී ලංකාවේ මුළු ආනයන ඩොලර් බිලියන 18.3ක් වූ අතර ඉන්දියාවෙන් කළ ආනයන ඩොලර් බිලියන 4.5ක් නැතහොත් මුළු ආනයන වටිනාකමින් 26% ක් වූ අතර චීනයෙන් කළ ආනයන කොටස 20%ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළ කොටස 5.4%ක් පමණ විය. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආනයනකරු බවට පත්ව ඇති අතර අපනයන සම්බන්ධයෙන් ඉන්දියාවට හිමිවන්නේ තෙවන ස්ථානයයි. මෙහිදී දැකිය හැකිවන වැදගත් කරුණකි. අනෙක් අතට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ කරන වෙළඳ ගනුදෙනු අනුව, ඉන්දියාවේ වැදගත් වෙළඳ හවුල්කරුවෙක් ලෙස ශ්‍රී ලංකාව සලකනු නොලබන බව සඳහන් කළ හැකිය. මන්ද යත් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ කරන අපනයන සහ ආනයන ගනුදෙනු සාපේක්ෂකව ඉතා අවම මට්ටමක පවතින නිසාවෙනි. විශේෂයෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නේ වසරකට ඩොලර් බිලියනයකටත් වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයක්ය. ඉන්දියාව 2022 වසරේ කර ඇති මුළු ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 892ක් වන අතර ඉන්දියාවේ ප්‍රධාන ආනයන හවුල්කරුවන් වනුයේ චීනය (15.43%), එක්සත් අරාබි එමිර් රාජ්‍යය (7.31%) සහ අ‍ෙමරිකා එක්සත් ජනපදයයි (7.07%). ලංකාවෙන් කර ඇති ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 0.855ක් පමණ වන අතර මෙය ඉන්දියාවේ මුළු ආනයනවල ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 0.1% කි. මේ අතර 2022 වසරේ ඉන්දියාවේ මුළු අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 417.81ක් වූ අතර එයින් 18.2%ක් වටිනා අපනයන අමෙරිකාවටද, 6.7%ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයටද, 5.1%ක් වටිනා අපනයන චීනයට ද සිදු කර ඇත. මෙම වසරේම ශ්‍රී ලංකාවට අපනයනය කර ඇත්තේ ඩොලර් බිලියන 4.62ක් වටිනා අපනයන නැතහොත් 1.1% ක් පමණ වටිනා අපනයන වේ. මින් අදහස් වෙන්නේ ඉන්දියාවට ශ්‍රී ලංකාව වැදගත් වෙළඳ හවුල්කරුවෙකු නොවන බවත්, වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබියදී පවා ඉන්දියාව ලංකාවෙන් සැලකිය යුතු ලෙස භාණ්ඩ මිලදී නොගන්නා බවත්ය.

වෙ‍ෙළඳ ගිවිසුම්වල බලපෑම

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වඩාත් ක්‍රියාකාරීව වෙළෙඳ කටයුතු කරනු ලබන්නේ 1998 දෙසැම්බර් මස 28 වන දින අත්සන් තබන ලදුව 2000 මාර්තු 1 වන දින බලාත්මක කොට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) යටතේය. පසුගිය වසර 5 තුළ (2017 -2021) ලංකාව ඉන්දියාවට කළ මුළු අපනයන වටිනාකම අ‍ෙමරිකානු ඩොලර් මිලියන 3635.67 කි. එයින් ඩොලර් මිලියන 2299.94 (63%) ISFTA යටතේත්, අනෙක් බහු පාර්ශ්වික ගිවිසුම් 3 න්ම, එනම් SAPTA, SAFTA සහ APTA යටතේ අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 258.35 (7.11%) වටිනා අපනයන පමණි. ආනයන සම්බන්ධයෙන් ගතහොත් අදාළ වසර 5 තුළ ඉන්දියාවෙන් කළ මුළු ආනයනවල වටිනාකම අ‍ෙමරිකානු ඩොලර් මිලියන 19908.43ක් වන අතර ISFTA යටතේ කළ ආනයන ඩොලර් මිලියන 1070.17 (5.3%)ක් ද, අනෙක් ගිවිසුම් 3 යටතේ ආනයනය කළ භාණ්ඩවල වටිනාකම අ‍ෙමරිකානු ඩොලර් මිලියන 26.75 (0.125%) කි. මේ අනුව ඉන්දු ලංකා නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම ISFTA රටවල් දෙක අතර කෙරෙන වෙ‍ෙළඳාමට ඉහළ දායකත්වයක් ලබාදෙන අතර එය ඉන්දියාවට කළ මුළු අපනයනවලින් 63% කටත් ඉන්දියාවෙන් කරන ආනයනවලින් 5.3% කටත් පමණ දායකත්වය ලබා දෙයි. අනෙක් ගිවිසුම් තුනෙන් වෙ‍ෙළඳාමට දක්වන්නේ ඉතා අඩු දායකත්වයකි.

මෙයින් පෙනෙන්නේ වෙ‍ෙළඳ ගිවිසුම් හරහා ඉන්දියාවට කළ මුළු අපනයන 70%ක් පමණ වන බවත් ගිවිසුම් හරහා කළ ආනයන 5.4% ක් පමණ වන බවයි. මින් ගම්‍ය වන වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයනකරු ඉන්දියාව වුවත් ඉන්දියාවෙන් කරනු ලබන බොහෝ ආනයන සඳහා තීරු බදු සහන නොලැබෙන බවයි. නැතහොත් එම භාණ්ඩ සඳහා තීරු බදු සහන ගිවිසුම් යටතේ ලබාදී නැති බවයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ යළිත් වෙළඳ ගිවිසුමකට එළඹෙන්නේ නම් එහිදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් මෙසේය.

ශ්‍රී ලංකාවට භූගෝලීය වශයෙන් ආසන්නතම රට ඉන්දියාව වන අතර වෙ‍ෙළඳාමේදී දැරීමට සිදුවන ප්‍රවාහන පිරිවැය අඩුවීමත්, ඉන්දියාව විශාල ජනගහනයක් සිටින නැතහොත් දැවැන්ත වෙළඳපොළක් සහිත ආර්ථිකයක් නිසාත් ඉන්දියාව සමඟ වෙ‍ෙළඳාම පුළුල් කෙරෙන විශේෂයෙන්ම අපනයන වර්ධනය කර ගත හැකි කවර හෝ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවට වැදගත්ය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ යළිත් වෙ‍ෙළඳ ගිවිසුමකට එළඹෙන්නේ නම් කළ යුතු වැදගත්ම කාර්යයක් වන්නේ තමන්ට ඉන්දියාව සමඟ සාපේක්ෂ වාසි ඇති සහ අපනයන විභවතාවන් ඇති භාණ්ඩ නිවැරදිව හඳුනා ගෙන එම භාණ්ඩ අපනයනය කිරීම දිරිගැන්වීමයි. ලෝක බැංකුව 2018 දී නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව දැනට දකුණු ආසියානු රටවලට අපනයන කරන්නේ ඩොලර් බිලියන 1.2 ක් පමණ වන භාණ්ඩ වන අතර ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.8ක පමණ විභවතාවක් එම රටවල පවත්නා බව සඳහන් කරයි. මීට අමතරව ADB ආයතනයට අනුබද්ධ South Asia Subregional Economic Cooperation, වසර 2019 නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියාවට අපනයන කළ හැකි භාණ්ඩ 100කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර මෙම භාණ්ඩවලින් භාණ්ඩ 27ක් කිසිසේත්ම ඉන්දීය වෙ‍ෙළඳපොළට ප්‍රවේශ වී නොමැති බව සඳහන් කරයි. විශේෂයෙන් විදුලි උපාංග සහ උපකරණ (HS 25), සකස් කළ ආහාර (HS 16 – 20), රෙදිපිළි සහ ඇඟලුම් (HS 61- 62) වැනි භාණ්ඩ සඳහා ඩොලර් මිලියන 505ක පමණ අපනයන විභවතාවක් පවත්නා බව එහි වැඩිදුරටත් සඳහන් කෙරේ.

අපනයන විභවතා

මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ වෙනත් පර්යේෂණ ආයතන සතු ශ්‍රී ලංකාවට අපනයන විභවතාවන් ඇති සහ සාපේක්ෂ වාසි ඇති භාණ්ඩ පිළිබඳ තොරතුරු උපයෝගී කර ගත හැකි අතර මේ සඳහා ඇති තවත් එක් වැදගත් මූලාශ්‍රයක් වන්නේ ITC Export Potential Map වෙබ් අඩවියයි. මෙයට ප්‍රවිෂ්ට වීමෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාව ඇතුළුව ලෝකයේ වෙනත් රටවල් සඳහා අපනයන විභවතාවන් පවත්නා භාණ්ඩ හඳුනාගත හැකිය. ගම්මිරිස්, කළු තේ, නිම් ඇඳුම්, කුරුඳු, විවිධ ඇට වර්ග, ලිහිසි පොල් වැනි භාණ්ඩ විශාල ප්‍රමාණයක් සඳහා අපනයන විභවතාවන් පවත්නා බව එහි සඳහන් වේ. මෙහි ශ්‍රී ලංකාවට විභවතාවන් ඇති භාණ්ඩවලට අමතරව දැනට සත්‍ය වශයෙන්ම කරන අපනයන වටිනාකම් සහ විභවතාවන්හි වටිනාකම්ද සඳහන් වේ. උදාහරණ වශයෙන් කළු තේ සඳහා භාවිත නොකර ඇති විභවතාව ඩොලර් මිලියන 84ක් ලෙස දක්වා ඇති අතර කුරුඳු සඳහා භාවිත නොකර ඇති විභවතාව ඩොලර් මිලියන 24ක් ආදී වශයෙන් විශාල භාණ්ඩ සංඛ්‍යාවක තොරතුරු මෙහි දැක්වේ.

මීළඟට අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් නම්, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කරනු ලබන ආනයනවලට සාපේක්ෂව ඉන්දියාවට කරන අපනයන සාපේක්ෂව අඩු මට්ටමක පවතී. (2022 දී ආනයන අපනයන අනුපාතය 1: 5.4 කි). ඒ අනුව ඉන්දියාවට කරනු ලබන අපනයන පිළිබඳව ඉලක්ක (export targets) නිශ්චය කරගත යුතු අතර එම ඉලක්ක වසරින් වසර වැඩි වනසේ නියම කර ගැනීමට දෙරට අතර එකඟතා ඇති කර ගත යුතුය. මේ අතර අපනයන භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කර ගැනීමට සමගාමීව නිමි ඇඳුම්, කළු තේ, ලිහිසි තෙල්, වනස්පති වැනි භාණ්ඩ සඳහා වන අපනයන කෝටා වැඩි කර ගැනීමට උත්සාහ කළ යුතුය. උදාහරණ වශයෙන් දැනට ISFTA යටතේ ගම්මිරිස් සඳහා ඇති කෝටාව වසරකට මෙට්‍රික් ටොන් 500කට සීමා කර ඇත. ගම්මිරිස් සඳහා දැනට සත්‍ය වශයෙන්ම කරන අපනයන වටිනාකම ඩොලර් මිලියන 68ක් වන අතර ගම්මිරිස් සඳහා විභවතාව ඩොලර් මිලියන 112ක් පමණ වේ.

ශ්‍රී ලංකාව නව ගිවිසුම්

ISFTA ගිවිසුම යටතේ දැනට තීරු බදු සහන නොදෙන සෘණ ලැයිස්තුවේ පවතින භාණ්ඩ යළි සමාලෝචනය කර සහන ලැබෙන භාණ්ඩ සංඛ්‍යාව පුළුල් කරගැනීමත් සලකා බැලිය හැකිය. තවද දැනට ඉන්දියාව සමඟ කරන වෙ‍ෙළඳ ගිවිසුම් යටතේ වෙළෙඳාම් කරන්නේ භාණ්ඩ පමණි. එයට බැංකු රක්ෂණ, මූල්‍ය, ප්‍රවාහනය වැනි සේවා ද ඇතුළත් කළ හැකිය. මෙවැනි සේවා අපනයන පුළුල් කර ගැනීම සඳහා සහ විද්‍යුත් වාණිජ්‍යය ඇතුළු ඩිජිටල්කරණය උපයෝගී කරගත හැකිය. මීටත් අමතරව සම්ප්‍රදායිකව කෙරෙන අපනයනවලට අමතරව සංකීර්ණ සහ ඉහළ තාක්ෂණයෙන් (complex and high tech) යුතු භාණ්ඩ, තොරතුරු තාක්ෂණය (IT) සහ බාහිරින් ලබා ගන්නා ව්‍යාපාර ( Business Process Outsourcing) ක්ෂේත්‍රවල ඉහළ විභවතාවක් පවත්නා අතර ඒ ක්ෂේත්‍රයන්හි අපනයන පුළුල් කිරීම පිළිබඳවත් ඒවාට සහන ලබා ගැනීම පිළිබඳවත් අවධානය යොමු කිරීම වටී. අපනයන සඳහා අය කරන සෙස් බදු සහ වරාය හා ගුවන්තොටුපළ ගාස්තු අපනයන අධෛර්යමත් කරන බවද මෙහිදී සඳහන් කළ යුතුය.

මෙහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා සේවා නියුක්තියට බලපෑමක් නොවන ආකාරයටත් (දැනටමත් ඉන්දියාවේ ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේ ඉඩකඩක් යෝජිත ගිවිසුම හරහා සිදු වේ යැයි ඇතැම් පාර්ශ්ව කරුණු දක්වයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආර්ථික ආධිපත්‍යයට ඒ යටත් විය හැකි සහ ඉන්දියාවේ භූ -දේශපාලනික අරමුණු (geo-political motives) සැපිරෙන කොන්දේසි ඇතුළත් නොවන ආකාරයට සැලකිලිමත් වෙමින් ශ්‍රී ලංකාව නව ගිවිසුම්වලට යා යුතුය.

මහාචාර්ය සේමසිංහ

දිසානායක

වාණිජ හා මූල්‍ය කළමනාකරණ

අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT