Wednesday, April 23, 2025
Home » ඝාතන දෙකක ප්‍ර‍ධාන සැකකරුවෙක් දෙවසරකට පසු පොලිස් දැලේ

ඝාතන දෙකක ප්‍ර‍ධාන සැකකරුවෙක් දෙවසරකට පසු පොලිස් දැලේ

by sachintha
February 28, 2024 2:45 am 0 comment

කැලණිය දුම්රිය හරස් මාර්ගයේ ගුරුකුල විද්‍යාලය ඉදිරිපිටදී සහ පිටිපන මාළු ලෙල්ලමේ සිදුවූ පාතාලයේ ඝාතන දෙකකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පෙරේදා (26) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම, කරීටාස් විලේජ් හී පදිංචිකරුවකු වන පැතුම් මොට්ටිය නැමැති 39 වියැති අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා කටාන අම්බලයාය කෝපියාවත්ත ප්‍රදේශයේ ද පදිංචි ව සිටින බව පොලීසිය කියයි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මීගමුව අධිකරණය අසල දී සැකපිට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මීගමුව අධිකරණය අසල මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සමඟ මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.

කැලණිය ගුරුකුල විද්‍යාල ඉදිරිපිට ඝාතනය සිදුවන්නේ 2022 වසරේ සැත්තැම්බර් 14 වෙනිදා රාත්‍රී කාලයේදීය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ වැල්ලම්පිටිය වෙලේවත්තේ පදිංචිකරුවෙකු වූ ආරිෆ් මොහොමඩ් හුසේන් නොහොත් ආජි නැමැති පාතාලයේ අපරාධකරුය. ආජි නැමැත්තා ගුරුකුල විද්‍යාලය අසලට ගෙන්වාගෙන මෙම ඝාතනය සිදුකර තිබුණු බවත් ඊට පාතාලයේ අපරාධකරුවන් වන මාකිලංගමුවේ සංජීව, ප්‍රංශ රූබන් සහ වැල්ලේ සාරංග නැමැති පාතාල අපරාධකරුවන්ගේ සම්බන්ධකම් ඇති බවත් අනාවරණය වී තිබුණි.

පොලිසිය පවසනුයේ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතුකර ඇත්තේ මෙම පුද්ගලයා බවය.

දුන්ගල්පිටිය පොලිස් වසමේ පිහිටි පිටිපන ලෙල්ලමේදී 2023 වසරේ අගොස්තු 12 වෙනිදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අයකරන අයකරන තරුණයෙකු මෙසේ ඝාතනයකර තිබුණි. වෙනත් පුද්ගලයෙකු යැයි සිතා මෙම තරුණයා වෙඩි තබා ඝාතනයකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුණි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එම ඝාතනය කළහ.

එම ඝාතනයට පැමිණි වෙඩික්කරු ගමන්කර තිබුණු යතුරුපැදිය රැගෙනගොස් ලබාදී ඇත්තේද මෙම සැකකරු විසින්ම බව විමර්ශනයේදී හෙළිවී ඇත.

ඒ අනුව මෙම සැකකරු රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

කැලණිය කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT