Wednesday, April 23, 2025
Home » ආර්ථික ස්ථාවරත්වයට ඉන්දියන් සාගරයේ බලපෑම – මේජර් ජෙනරාල් ආචාර්ය ප්‍රතාප් තිලකරත්න

ආර්ථික ස්ථාවරත්වයට ඉන්දියන් සාගරයේ බලපෑම – මේජර් ජෙනරාල් ආචාර්ය ප්‍රතාප් තිලකරත්න

by sachintha
February 28, 2024 2:43 am 0 comment

අන්තර්ජාතිකව බලන කල්හි මෙරටේ පිහිටීම, ඉන්දීය සාගර බල දේශපාලනය ලෝකයේ ස්ථාවර භාවයට සිදු කරනු ලබන්නේ කුමන ආකාරයේ බලපෑමක්ද යන්න සහ තවත්

අන්තර්ජාතික කරුණු පිළිබඳව අන්තර්ජාතික දේශපාලනය සහ ආරක්ෂාව පිළිබඳ විෂය ප්‍රවීණයකු වන මේජර් ජෙනරාල් ආචාර්ය ප්‍රතාප් තිලකරත්න මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකැසුණි.

ඉන්දියාව යනු මහා ශිෂ්ටාචාරයක තොටිල්ලක් බඳු යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. එක් පසෙකින් ඉන්දියාව ඉන්දීය සාගරයේ ආධිපත්‍යය සඳහා කටයුතු කරද්දී අනෙක් පසින් චීනය ද ඉන්දීය සාගරයේ සහ ආසියානු කලාපයේ සිය ආධිපත්‍යය පැතිර වීමට විශාල උත්සාහයක නිරත වෙති. එබැවින් ඉන්දීය සාගරය තුළ ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් පාලනය කරනු ලබන ආකාරය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීම කාලෝචිත වේ.

අද වන විට ලෝකයේ වඩාත් වැදගත් කලාපයක් බවට ආසියාව මෙන්ම ඉන්දීය සාගරය පත්ව තිබේ. මේ වැදගත්කම වඩාත් තීව්‍ර කිරීමට හේතුවක් බවට පත්ව තිබෙන්නේ මෙම සාගර කලාපය තුළ තිබෙන සමුද්‍ර සන්ධි පිළිබඳව වූ විශේෂත්වයයි. යුදමය අවස්ථාවක සමුද්‍ර සන්ධියක් අවහිර කිරීම හෝ එසේ කරන බවට තර්ජනය කිරීම මඟින් සිදු කළ හැකි බලපෑම විශාලය. මෙවැනි ප්‍රධාන සමුද්‍ර සන්ධියක් අවහිර වීම සිදු කර සැපයුම් මාර්ග අවහිර කළහොත් ඇතිවනු ලබන්නේ කලාපීය වශයෙන් පමණක් නොව ගොලීය වශයෙන්ද විශාල අර්බුදයකි. එය දීර්ඝ කාලීන යුද්ධයකට වුවද හේතුවක් වීමට බොහෝ ඉඩකඩක් තිබේ. උදාහරණයක් ලෙස, දකුණු චීන මුහුදේ බටහිරට වන ලෙස පිහිටා ඇති ඉන්දුනීසියානු සුමාත්‍රා දූපතේ නැඟෙනහිර වෙරළ තීරය සහ මැලේසියාවේ බටහිර වෙරළ තීරය අතර වන මලක්කා සමුද්‍ර සන්ධිය වැනි ස්ථානයක් අවහිර කරනු ලැබුවහොත් ඉන්දීය සාගරය තුළ තම නාවුක කටයුතු සිදු කිරීම මෙන්ම වෙළෙඳ ක්‍රියාකාරකම් සිදු කිරීමට චීනය වැනි බලවත් රටකට පවා අපහසු වනු ඇත. මෙය අනාගතයේදී ඇති විය හැකි තත්ත්වයක් වුවද එවැන්නකට දැනටමත් විකල්ප සෙවීමට චීනය කටයුතු සැලසුම් කර තිබේ. ඒ සඳහා ඇති කරනු ලබන විකල්ප මාර්ගය බවට පත්ව තිබෙන්නේ දකුණු තායිලන්තයේ ක්‍රා ඉස්ත්මස් (දෙපස මුහුද සහිත “ක්‍රා” නමැති පටු බිම් තීරුව) හරහා අන්දමන් මුහුද හා තායිලන්ත බොක්ක සම්බන්ධ කරන ක්‍රා නම් ඇළක් තැනීමයි. එය සුවස් ඇළ මෙන් ගොඩබිම කැණීමෙන් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන ඇළ මඟකි. මලක්කා සමුද්‍ර සන්ධිය අවහිර වීමක් සිදු වුවහොත් ඇතිවන තත්ත්වය සඳහා මුහුණ දීම මෙම ඇළ මඟ තැනීමේ අරමුණ බවට පත්ව තිබේ.

සමුද්‍ර සන්ධියක් අවහිර කිරීම

තෙල් ප්‍රවාහනය සඳහා ලෝකයේ ප්‍රධාන සමුද්‍ර සන්ධි පටු මාර්ග (choke points for oil transportation) ස්ථාන හතෙන් තුනක් ඉන්දියන් සාගරයේ ඇත. එනම් මලක්කා, හෝමුස් සහ බැබ් එල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය වේ. මේවා ලෝකයේ වැදගත් සහ ප්‍රධාන සමුද්‍ර දෙකක් සම්බන්ධ කරන මාර්ග බැවින් යම් බාධක ඇති වුවහොත් නැව් ගමනාගමන තදබදයක් නිර්මාණය කරන අතර මෙම සමුද්‍ර සන්ධි ඉන්දීය සාගරයේ ක්‍රියාකාරකම් සඳහා ලබා දී ඇත්තේ සුවිශේෂ වැදගත්කමකි. මෙවැනි සමුද්‍ර සන්ධියක් අවහිර කිරීමට උත්සාහ කළහොත් ආසියාවේ සාමකාමිබවෙහි ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ තිබේ. මෙම පටු සමුද්‍ර සන්ධීන් අවහිර වී ඇත්නම් හෝ භාවිත කිරීමට නොහැකි නම්, දැනට ඇති විකල්ප මාර්ගය සාමාන්‍යයෙන් දිගු සහ මිල අධික වන අතර යම් යම් අවස්ථාවලදී විශාල නැව් සහ තෙල් නැව්වලට යා නොහැකි ය.

ඉන්දීය විදේශ පිළිවෙත තුළ ලොකු වෙනස්කම් පසුගිය කාලයේදී ඇතිව තිබේ. 2019 පසු නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ දේශපාලන පිළිවෙත මෙන්ම ඉන්දීය දේශපාලන සහ විදේශ ප්‍රතිපත්තිය නව මඟක් ගෙන තිබේ. එනම් බලහත්කාරී පිළිවෙත වෙනුවට අසල්වැසියන් සමඟ සුහදව සහ අවබෝධයෙන් කටයුතු කිරීමයි. මෙහිදී බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති සිය අසල්වැසියන් වෙත ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

චීනය යනු කෙටි කාලීන ඉලක්ක හඹා යන රටක් නොවේ. ඔවුනට ඇත්තේ දීර්ඝ කාලීන ඉලක්කයන්ය. ඔවුන් කටයුතු කරනු ලබන්නේ එම දීර්ඝ කාලීන ඉලක්කයන් වෙනුවෙනි. චීනය දේශපාලන ආක්‍රමණ වෙනුවට ආර්ථික ඉලක්ක වෙනුවෙන් කටයුතු කරනු ලබන බවට අතීතයේ සහ වර්තමාන කාලයේ ක්‍රියාකාරකම් මඟින් පිළිබිඹු වේ. චීනය නිතරම අනුගමනය කරනු ලබන්නේ ආරක්ෂාකාරී පිළිවෙතකි. අතීතයේ එක් වරෙක ඇති වූ ගැටලුවක් නිසා චීනය සහ ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ඇති විය. එහිදී චීනය සිදු කළේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම හෝ මෙරට බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීම නොව ඒ සඳහා හේතු වූ අලකේෂ්වර රජු ජීවග්‍රහනයෙන් චීනය වෙත රැගෙන යාමයි. චීන විදේශීය ප්‍රතිපත්තිය එදා සිටම පැවැතියේ ආක්‍රමණකාරී පිළිවෙතක නොව ආරක්ෂාකාරී පිළිවෙතක් බව චීන මහ ප්‍රාකාරයම සංකේතවත් කරන බව පෙනේ.

චීනයේ ආධිපත්‍යය

මෙහිදී ආසියානු දේශපාලනය සහ ඉන්දීය සාගර යුද උපක්‍රම තුළ චීනය සමඟ සමීපව කටයුතු කරනු ලබන රටක් ලෙස පාකි ස්තානය හඳුන්වා දිය හැකිය. මෙම සබඳතාව සහ තත්ත්වය ඉන්දියාවට දේශපාලන සහ යුදමය තර්ජනයක් ලෙස දකී. චීනයද තම One Belt One Road ( ÒSilk Road Economic BeltÓ) ප්‍රතිපත්තිය මත උපක්‍රමීය ලෙස තම ආර්ථිකය මෙන්ම යුදමය ශක්තියද වර්ධනය කර ගනිමින් සිටී. ඉන්දියන් සාගරයේ ඇති සියලුම ප්‍රධාන බලවතුන් අතුරින්, ප්‍රංශය, ඉන්දියාව, එක්සත් රාජධානිය හෝ එක්සත් ජනපදය නොව, දූපත් ජාතීන් හයම හරහා රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර ඇති එකම රට චීනය වේ.

අමෙරිකාව ඉන්දීය සාගරයේ තම බලවත්භාවය ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේදයක් බවට තම යුද අභ්‍යාස උපයෝගී කර ගනු ලබයි. ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදය තෝරා ගෙන තිබෙන්නේ දියාගු ගාෂියා දූපත් ආශ්‍රිත කලාපයයි. එහි අරමුණ වන්නේ තමන්ගේ යුද ශක්තිය ඉන්දීය සාගරය පුරා සිටින රටවලට මෙන්ම චීනයේ ආධිපත්‍යයට එරෙහිව යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමයි. චීනයේ ආර්ථික සහ යුදමය වර්ධනය තමන්ට එරෙහි අහිතකර තත්ත්වයක් ලෙස බටහිර ලෝකය සලකනු ලබයි. ඒ තත්ත්වය තුළ විවිධාකාරයෙන් චීනයට බාධා එල්ල කිරීම සහ බලපෑම් ඇති කිරීම මඟින් චීන විරෝධි කඳවුරක් ලෙස නව ප්‍රවණතාවක් ඇති කිරීම සහ තම ආධිපත්‍යය රැක ගැනීමට කටයුතු කිරීම අමෙරිකාවේ එක් ප්‍රමුඛ අරමුණක් බවට පත්ව තිබේ.

මධ්‍යධරණී මුහුද ද අතීතයේ සිටම ලෝකයේ යුදමය ගැටුම් සඳහා භාජනය වී ඇති කලාපයක් වේ. ඊශ්‍රායල-පලස්තීනය මැද පෙරදිග අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ. එය දශක ගණනාවක සිට මෝරා පැමිණි ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඇත්තෙන්ම මෙම අර්බුදය ඇති කළේ කවුද යන්න දීර්ඝ වශයෙන් සලකා බලන විට මෙම අර්බුදය පිටුපස බටහිර රටවල් සහ සංවිධානවල ක්‍රියාකාරකම් හේතු වී ඇති බව පෙනේ.

සැබෑ ලෙසම අද ඊශ්‍රායල-පලස්තීනය අර්බුදය පවතින කලාපය අතීතයේදී පැවැතියේ පිලස්ටයින් යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රදේශයක් වශයෙන් වන අතර අරාබි සහ යුදෙව්වන් ජන කොට්ටාස දෙකම එහි වාසය කළේය. රෝම අධිරාජ්‍යයේ ආක්‍රමණය නිසා යුදෙව්වන් හට එම ප්‍රදේශයෙන් පලා යාමට සිදු වූ අතර, ඩයස්පෝරා යන වචනයේ මූලාරම්භය වූයේද ලොව පුරා එම ‘යුදෙව්වන්ගේ විසිර යාම’ විය. අවසාන ප්‍රතිඵලය වූයේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ලොව පුරා තැනින් තැන විසිර සිටි යුදෙව්වන් සඳහා රාජ්‍යයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් වීමය. අවසානයේදී යුදෙව්වන් සඳහා වෙනම භූමියක් ඇති කර එහි යුදෙව්වන් සඳහා රාජ්‍යයක් ඇති කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කරන ලදී.

බල දේශපාලනය

පසුගිය කාලය පුරාම අප මෙන්ම ලෝකය ද වැඩි වශයෙන් අවධානය යොමු කළේ රුසියාව සහ යුක්රේනය අතර තිබෙන යුද්ධය පිළිබඳවය. ඊට ප්‍රථම ලෝකයේ සියලුම ජන මාධ්‍යයන් වාර්තා කරනු ලැබුවේ දකුණු චීන මුහුදේ චීන ආධිපත්‍යය සම්බන්ධවයි. එහෙත්, ඒ තත්ත්වයන් පසුගිය මාස කිහිපයේදී විශාල වෙනසකට ලක් විය. මුලින් ගාසා තීරය දෙසටත් පසුව යේමනයේ හුති කැරලිකරුවන් පිළිබඳවද ලෝක අවධානය යොමු විය.

දකුණු චීන මුහුදේ චීන ආධිපත්‍යය සහ යුරෝපයේ යුක්රේනය පිළිබඳව තිබූ ලෝක අවධානය අද වන විට ගාසා තීරය සහ හුති කැරලිකරුවන් වෙත යොමුව තිබුණ ද මේ සියල්ලටම මූලික දේ බවට පත්ව තිබෙන්නේ බල දේශපාලනය පිළිබඳ කරුණු බව පෙනේ. කළු මුහුදේ රුසියානු නාවික බලය සහ දකුණු චීන මුහුදේ චීන ආධිපත්‍යය අමෙරිකාව ප්‍රමුඛ යුරෝපයට තර්ජනයක් ලෙසටත් සහ ඉන්දීය සාගරයේ තම බලවත්භාවය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය උපක්‍රමයක් ලෙසටත් සැලකීම මත ලෝක බලවතුන් සඳහා යම් යම් රටවල් දක්වන ආකල්පයන් සහ පවත්වා ගෙන යන සබඳතාවයන් ලෝක බලවතුන්ගේම දැඩි අවධානයකට ලක්ව ඇත.

මෙම තත්ත්වයන් සහ කරුණු මැද ඉන්දීය සාගරයේ පිහිටා ඇති අප රටේ විදෙස් පිළිවෙත සුවිශේෂ කරුණක් බව මනාව පැහැදිලි කරගත යුතු වේ. අතීතයේ සිට අප රට අනුගමනය කළ නොබැඳි විදෙස් පිළිවෙත තවදුරටත් අනුගමනය කිරීම අප රටට වඩාත් හිතකර වනු ඇත. රටේ සමුද්‍රීය පිහිටීම තුළ මෙරටට විශාල ගෝලීය සහ දේශපාලන වැදගත්කමක් තිබේ. එම ගෝලීය වැදගත්කම අපේ රටට යහපත් සහ වැදගත් ආකාරයට යොදා ගැනීම සිදු කළ යුතුය. මෙම තත්ත්වය තුළ ඉන්දීය සාගරය තුළ අපේ රට වැදගත් වන්නේ කෙසේද එම වැදගත්කම සුරක්ෂිත කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුය. කෙසේවෙතත් බල සමතුලනය යනු කිසිදු රටකට විශේෂත්වයක්, අප්‍රසාදයක් හෝ තර්ජනයක් නොවන ලෙස ආර්ථිකය සහ අනෙක් සම්බන්ධතා පවත්වාගෙන යාම වන අතර අප රටේ කරුණු වෙත බලපෑම් කිරීමට සෑම රටකටම සමාන ලෙස අවස්ථාවල් ලබාදීම නොවන බව දැඩිව වටහා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

 

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT