වසර සියයකට වඩා පැරැණි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියෙන් මහනුවර ක්‍රීඩා සමාජය ඉවත් වී ඇතැයි වාර්තා වේ. ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරග බිමේ සාර්ථකම කණ්ඩායම ලෙස කුසලාන 22කට හිමිකම් කියමින් වැඩිම වාර ගණනක් කුසලානය දිනූ කණ්ඩායම වන මහනුවර පිල මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තරගබිමෙන් ඉවත් වූයේ පිට පිට තුන්වැනි වරටය. අර්ධ අවසන් පූර්ව වටයෙන් ආරම්භ වන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමඟ පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට කොළඹට පැමිණීමට එකඟතාව පළ කර ඇති මහනුවර ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නම් එම තරගය මහනුවර පවත්වන ලෙස රග්බි ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එහෙත් සෙසු ක්‍රීඩා සමාජ අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට සිදු වූ බව රග්බි තරගාවලි කමිටුවේ සභාපති ෂම්රාත් ප්‍රනාන්දු ‘දිනමිණ‘ට පැවැසීය.
‘අපි ටීම් අටකට ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ ඩ්‍රෝ එක හැදුවා. ඒත් මහනුවර කණ්ඩායම කියන්නේ එයාලා අවසන් පූර්ව හා අවසන් තරගයට සුදුසුකම් ලැබුවොත් එම තරග මහනුවර පවත්වන්න කියලයි. යුද හමුදා ක්‍රීඩා සමාජය හැර අන් සියලුම ක්‍රීඩා සමාජ එම ඉල්ලීමට අකමැති වුණා. ඒ නිසා තරගාවලි කමිටු රැස්වීමේදී අපි ඒකමතිකව තීරණය කළා සැලසුම් කළ පරිදි සියලු තරග කොළඹ පවත්වන්න. ඒ නිසා මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවත්වුණා.‘ ෂම්රාත් ප්‍රනාන්දු කියා සිටියේය.
මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ඔවුන් සමඟ පළමු අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ලීග් ශූර සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය නිතරග ජයකින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මීට පෙර මීට පෙර අවසන් වරට මහනුවර ක්‍රීඩා සමාජය 2018 දී සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් වරට ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගත් අතර, එය මහනුවර පිලේ සුපිරි ක්‍රීඩක ෆාසිල් මරිජාගේ සමුගැනීමේ තරගය ද විය. අනතුරුව 2019 වසරේදී සහ පසුගිය වසරේදී ද මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් ඉවත් වූයේ ද මහනුවරදී තරග පැවැත්වීමේ ඉල්ලීම ප්රතික්ෂේප වීම හේතුවෙනි.
පසුගිය වසරේ තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ද සිය ක්රීඩකයන් ආබාධවලට ලක්වී සිටින බව සඳහන් කරමින් තරගාවලියෙන් ඉවත් වූ අතර, මෙවර අවසන් මොහොතේදී තරගාවලියට ක්‍රීඩා කිරීමට එකඟතාව පළ කළ බව ද ෂම්රාත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙවර ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව වටය 28 වැනිදා පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර සීආර් පිටියේදී පැවැත්වෙන අතර, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලබන 29 වැනිදා හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර එම ක්රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය මාර්තු මස 1 වැනිදා එම ක්රීඩාංගණයේදී පැවැත්වෙයි. පළමු අවසන් පූර්ව තරගය මාර්තු 5 දා සහ දෙවැනි අවසන් පූර්ව තරගය මාර්තු 6 දා පැවැත්වෙන අතර, ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගය මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට නියමිතය.