ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසීමට හේතු සොයා එය නඟාසිටුවීමට අවශ්‍ය යෝජනා සමඟ වාර්තාවක් දින 7ක් ඇතුළත ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් පුහුණු කළමනාකාරිත්වයට දැනුම් දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය හා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන ප්‍රධානි ටිම් මැක්ස්කිල් යන මහත්වරු විසින් මෙම වාර්තාව සකසා භාරදිය යුතු බව පසුගියදා පැවැති රැස්වීමකදී ක්‍රීඩා ඇමැතිවරයා දැනුම්දී තිබේ.
මෙම වාර්තාව සකස් කිරීමේදී 15න් පහළ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන වයස් කාණ්ඩ සම්බන්ධව වෙන වෙනම අවධානය යොමු කළ යුතු බවත්, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන සංචිතය, ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා නැගී එන ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ සැලකිල්ලට ගත යුතු බව ක්‍රීඩා ඇමැතිවරයා දැනුම්දී තිබේ. එම වාර්තාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට අවශ්‍ය ඉදිරි වැඩසටහන්, යෝජනා සඳහන් විය යුතු අතර, ඒවා කෙටිකාලීනව, මධ්‍යකාලීනව හා දිගුකාලීනව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි වර්ගීකරණයකට ලක් කරන ලෙස ද දැනුම්දී තිබේ.
ඒ අනුව යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසීමට හේතු සොයා එය නඟාසිටුවීමට අවශ්‍ය යෝජනා සමඟ සකස් කරන ලද සවිස්තර වාර්තාව ඉක්මනින්ම ක්‍රීඩා ඇමැතිවරයා වෙත ලැබෙනු ඇතැයි පැවැසේ. එම වාර්තාව ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව හා ඇමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පත්වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව, ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අතර හමුවක් පසුගියදා පැවැති අතර, එම රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය හා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථාන ප්‍රධානි ටිම් මැක්ස්කිල් යන මහත්වරුන්ට ද කැඳවීම් කර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමසා ඇත.
මෙම හමුවේදී යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, එහිදී ක්‍රිකට් යාන්ත්‍රණයේ ගැටලුවක් පවතී ද යන්න ගැඹුරින් විමර්ශනය කළ යුතුව ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් එම ගැටලු හඳුනාගෙන වහාම නිවැරදි කිරීමේ අවශ්‍යතාව මත යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීමට හේතු සෙවීම වැදගත් බව පෙන්වා දී තිබේ.
මෙයට දශකයකට පමණ පෙර ජනප්‍රිය පාසල්වලින් ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි වුණද, දැන් එම තත්ත්වය ක්‍රමයෙන් හීනවීගොස් ඇතැයි චෝදනාවකි. මේ තත්ත්වය හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවන්ද පහළ බැසීමකට ලක්ව ඇත. පසුගියදා නිමාවූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හා අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දක්ෂතා සටන්කාමී මට්ටමක නොතිබූ හෙයින් මේ පිළිබඳ නව ක්‍රමවේද ඉක්මනින් සකස් කිරීම ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ ද අදහසවී තිබේ.