Home » කුවේට් ජාතිකයකුගේ වෙඩිපහරට ලක් වූ රාජාංගනයේ සාගර

කුවේට් ජාතිකයකුගේ වෙඩිපහරට ලක් වූ රාජාංගනයේ සාගර

by chanaka
February 27, 2024 12:01 pm 0 comment

කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට ජාතිකයකුගේ වෙඩිපහරට ලක් වූ රාජාංගනයේ පදිංචි සාගර ලක්ෂ්මන් මහතා මේ වන විට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ රැකවරණය ලබා පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එසේම සාගර ලක්ෂ්මන් මහතාට සියලු පහසුකම් ද තානාපති කාර්යාලය මගින් ලබාදෙන බවද කාර්යාංශය සඳහන් කරයි. සිද්ධිය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කාර්යාංශයේ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කුවේට් රියදුරෙක් ලෙස සේවය කළ ඔහු පසුගිය ජනවාරි 11 වැනි දා ජහ්රා ප්‍රදේශයේ පදිංචි කුවේට් ජාතික පාරිභෝගිකයෙකුට ආහාර බෙදා හැරීමට ගොස් සිටියදී සිදුවූ සිද්ධියක් මත අදාළ කුවේට් ජාතිකයා විසින් ඔහුට වෙඩි තබා ඇති අතර එම සිද්ධිය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ජනවාරි 15 වාර්තා වී තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු කුවේටයේ ජහ්රා රෝහලට ඇතුළත් කර ඇති අතර එහි හදිසි අනතුරු අංශයේ දි ශල්‍යකර්මයකට භාජනය කොට වෙඩි උණ්ඩ ශරිරයෙන් නිස්සාරණය කර තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සැලවූ වහාම කුවේට් තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ තෙවන ලේකම්වරයා අදාළ රෝහලට ගොස් ඇති අතර කුවේට් ශ්‍රී ලංකා තානාපතිවරයාගේ උපදෙස් මත ප්‍රතිකාර අඛණ්ඩව සිදුකිරීමට හා ඔහුට ආරක්‍ෂාව ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අතර තානාපතිවරයාද එම රෝහල වෙත ගොස් සිද්ධිය සොයා බලා පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳවද විමසා ඇත. පසුගිය පෙබරවාරි 20 වෙනි දින කුවේට් පොලිසිය විසින් වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගත කර සිටී. අදාල කුවේට් ජාතිකයාට පොලිසිය විසින් මිනීමැරීමට තැත්කිරිමේ චෝදනාව යටතේ නඩු ගොනු කොට තිබේ.

රාජාංගනයේ පදිංචි සාගර ලක්ෂ්මන් මහතා 2022 ඔක්තෝබර් මස 10 වැනි දින රියදුරකු ලෙස කුවේටයට ගොස් තිබේ. ඔහු තුන්වතාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා කුවේටයේ සේවයට ගොස් ඇත. මෙම සිද්ධිය වන විට කුවේට්යේ ජහ්රාහි අඹුදහම් අවන්හලේ ආහාර බෙදා හැරීමේ රියදුරකු ලෙස ඔහු සේවය කර ඇත.

සාගර ලක්ෂාන් මහතාගේ සියලු රෝහල් වියදම් ඔහු සේවය කළ ආහාර බෙදාහැරිමේ ආයතනය විසින් ගෙවා ඇති අතර අදාළ නඩුවේ ඉදිරි ප්‍රගතිය අනුව සාගර මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට කටයුතු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT