Home » කන්ටේනරයක සැඟවී රට පනින්න ගිය යුවළ චීනයෙන් යළි මෙරටට

කන්ටේනරයක සැඟවී රට පනින්න ගිය යුවළ චීනයෙන් යළි මෙරටට

by sachintha
February 26, 2024 12:02 am 0 comment

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක (Container) සැඟවී මැලේසියාවට පලා යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු, චීනයේදී අත්අඩංගුවට පත් වී වසරකට පසුව එරටින් පිටුවහල් කර පෙරේදා (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණි.
මෙලෙස පිටුවහල් කර ඇත්තේ 26 හැවිරිදි මලාල් මාදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකි. මොවුන් ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 වැනි දින කොළඹ වරායේ සී.අයි.සී.ටී. ජැටියේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන්” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යෑමටය.
එහෙත් අදාළ නැව මැලේසියාවට පැමිණි විට, මෙම බහාලුම තුළ සැඟවී සිටි මොවුන් දෙදෙනා භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, මෙම නැවේ නාවුක බලධාරීන් මොවුන් රැගෙන තවත් රටවල් ගණනාවකට යෑමෙන් පසු අවසාන වශයෙන් චීනය වෙත පැමිණ තිබිණි. එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්පසුව මොවුන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව පෙරේදා (24) අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණි.
කටුනායක ගුවන්තොටුපොළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ කිරුලපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් තිබේ.
කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT