Home » අධික උෂ්ණයෙන් දරුවන් රැකගන්න සුව අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයන්

අධික උෂ්ණයෙන් දරුවන් රැකගන්න සුව අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයන්

by sachintha
February 26, 2024 12:03 am 0 comment

පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම අවමකර ගැනීම සඳහා ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශනයන් නිකුත්කර තිබේ. ඒ අනුව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් යම් යම් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බව පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය, ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය එවැනි තත්ත්වයන් බව පෙන්වා දෙයි. පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ/ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විය යුතුය. සිසුන් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගතකිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතුය. වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු වේ. දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වළක්වා ගැනීම (පාසලේ දී මෙන්ම නිවසේදී). අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටීම වැදගත් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මේ සඳහා පහසුකම් සැලසිය යුතුවන අතර අවශ්‍ය තරම් බීමට ජලය සැපයීම හා වැඩිපුර පිරිසිදු ජලය පානය සඳහා සිසුන් යොමු කිරීම මෙන්ම හැකි අවස්ථාවල දී සිසිල් ජලය ලබාදීම වඩාත් සුදුසු වේ. පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිනම් ඒ සඳහා විකල්ප ක්‍රම යෙදීම (දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරීන් මගින් දිස්ත්‍රික් ලේකම්ගේ සහාය මේ සඳහා ලබා ගතහැක). පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබීම හා අවශ්‍ය පියවර ගැනීම. විදුලි පංකා භාවිත කරන්නේ නම් පිරිසිදු වාර්තාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යෙන්ම විවෘතව පැවැතිය යුතුය. තට්ටු ගොඩනැඟිලි / ටකරන් වහල සහිත අධික උෂ්ණත්වය සහිත ගොඩනැඟිලිවල ඇති පන්ති කාමර සුදුසු තත්ත්ව සහිත තාවකාලික ගොඩනැඟිල්ලකට හෝ ස්ථානයකට මාරු කිරීම ඒ අතර වෙයි.

අවශ්‍ය අවස්ථාවල දී ටයි පටිය නොපැලදීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදුකළ යුතුය. බඳපටි පැළදීම හැකිතාක් අවම කිරීම. අධික හිරුඑළිය සහිත පරිසරයේ දී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කිරීම. කළු වර්ණයෙන් යුත් ඇඳුම් පැළඳුම් භාවිත නොකළ යුතුය. නිවසෙන් බැහැර යන හැම අවස්ථාවකදීම පිරිසිදු වතුර බෝතලයක් රැගෙන යාම. සාමාන්‍ය දිනවලට වඩා ජල පානය වැඩි කිරීම. තැබිලි / කුරුම්බා ජලය වෙනුවට ආදේශක ලෙස භාවිත කිරීම සුදුසු වේ. කිසිදු අවස්ථාවක සීනි අධික පැණි බීම භාවිත නොකළ යුතුය. අධික උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි අහිතකර රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් ගුරුවරයකුට හෝ වැඩිහිටියකුට දැනුම් දීම මගින් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළයුතු බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT