Tuesday, April 22, 2025
Home » තරුණයකු ලෙස පෙනී සිටිමින් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමූ තරුණිය අත්අඩංගුවට

තරුණයකු ලෙස පෙනී සිටිමින් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමූ තරුණිය අත්අඩංගුවට

by sachintha
February 26, 2024 12:02 am 0 comment

තරුණයකු ලෙස පෙනී සිටිමින් 15 හැවිරිදි සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් එම සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් එම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබූ අතර, තරුණයකු ලෙස පෙනී සිට ඇත්තේ තරුණියක බව සිසුවිය දැනගෙන ඇත්තේ ඇය අත්අඩංගුවට පත්වූ පසුව වීම විශේෂ සිදුවීමකි.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මාතර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන තිබේ. එහිදී 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියට තමන්ව හඳුන්වාදී ඇත්තේ පිරිමි පුද්ගලයකු ලෙසය.

ඇය දුරකතනය ඔස්සේ පිරිමි පුද්ගලයකුගේ හඬින් අමතමින් මෙම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වසරක පමණ කාලයක් එම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර 15 හැවිරිදි සිසුවිය නිරුවත් ඡායාරූප සහ දර්ශන ද තම පෙම්වතා ලෙස පෙනී සිටි තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඇති බව පොලිසිය පවසයි.

පසුව එම තරුණිය 15 හැවිරිදි සිසුවියට පවසා ඇත්තේ තමන්ව හමුවීමට පැමිණෙන ලෙසය. එහෙත් සිසුවිය එය ප්‍රතික්ෂේප කිරීම නිසා පෙම්වතා ලෙස පෙනී සිටි තරුණිය ඇයට තර්ජනය කර ඇත්තේ හමුවීමට නොපැමිණියහොත් මීට පෙර ඇය එවූ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරින බවය. නමුත් එම සිසුවිය දිගින් දිගිටම හමුවීමට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිසුවිය ඒ බව මවුපියන්ට දැනුම් දී තිබූ අතර මවුපියන් පෙම්වතා ලෙස පෙනී සිටි තරුණියට ඇමතුමක් ලබාදෙමින් ඉල්ලා තිබුණේ එම ඡායාරූප සමාජ මාධ්‍යවලින් ඉවත් කර ගන්නා ලෙසයි. එහිදී ඇය මවුපියන් සමග කතාබහ කර තිබුණේ ඇගේ පෙම්වතා ලෙස පිරිමි හඬකින්ය. පසුව එම තරුණිය 15 හැවිරිදි සිසුවියගේ නිරුවත් ඡායාරූප එම සිසුවියගේ ඥාතීන්ට ද යොමු කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් සිසුවියගේ ඥාතීන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ එම කාර්යාංශය පෙම්වතා ලෙස පෙනී සිටි 19 හැවිරිදි තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ. එම තරුණිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට රැගෙනවිත් තිබූ අතර තම පෙම්වතා ලෙස වසරක පමණ කාලයක් පෙනී සිට ඇත්තේ තරුණියක බවට 15 හැවිරිදි සිසුවිය දැනගෙන තිබුණේ එම අවස්ථාවේදී බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් එම තරුණිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT