අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වන කරුණු ඇතුළත් යෝජනාවලියක් පාරිසරික යුක්ති කේන්ද්‍රය මඟින් ඊයේ (21) අභියාචනාධිකරණයට භාර දෙන ලදි.
අලි ඇතුන් සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරිණ.
එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ මෙකී යෝජනාවලිය සකස් කිරීම සඳහා අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල පහළොස් දහසක් පමණ වන පිරිසකගේ අදහස් සහ කොළඹ සහ වෙනත් ප්‍රදේශවල විද්වතුන්ගේ සහ ප්‍රාමාණික උගතුන් සහ විවිධ පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගත් බවය. එහිදී මිනිසුරු මඬුල්ල දන්වා සිටියේ අදාළ යෝජනාවලිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වනජීවී ඇමැතිවරයාට සහ නීතිපතිවරයාට ලබා දෙන ලෙසය. එම යෝජනාවලිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතියෝජනා සලකා බලා අවසන් ජාතික සැලැස්මක් සකස් කළ හැකි බව එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය. ඒ අනුව එම කරුණු සලකා බැලීම සඳහා පෙත්සම මාර්තු මස 26 වැනිදා නැවත කැඳවීමට තීරණය කෙරිණ.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර ඇමැතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.වනජීවී හා වෘක්ෂලතා ආඥාපනතේ 68(අ) වගන්තිය අනුව අලි ඇතුන් සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කිරීමේ බලය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සතුව ඇති බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත. ඒ සඳහා පරිසර ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතු අතර ජාතික හා පාරිසරික ප්‍රතිපත්ති සහ උපමානවලට අනුව එම සැලසුම් සකස් කළ යුතුය.
වනජීවීන්, වාසභූමි සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා එම සැලසුම් සකස් කළ හැකිය. එහෙත් මෙතෙක් එවැන්නක් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර නැති අතර පසුගිය 2019 වසරේදී හබරණ ප්‍රදේශයේදී අලි කිහිප දෙනකුම ඝාතනයට ලක්වූ බවද පෙත්සම මඟින් පෙන්වා දී ඇත. එබැවින් එවැනි අලි ඇතුන් සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. රවීන්ද්‍රනාත් දාබරේ සහ නිල්මල් වික්‍රමසිංහ යන නීතිවේදීහු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
නෙල්කා මැදගෙදර