Wednesday, April 23, 2025
Home » වීරඹුගෙදර රිය අනතුර සිදුකළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියට ඇප

වීරඹුගෙදර රිය අනතුර සිදුකළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියට ඇප

by sachintha
February 22, 2024 12:54 am 0 comment

අපරීක්ෂාකාරීව සහ නොසැලකිලිමත්ව මෝටර් රථයක් පදවා රිය අනතුරක් සිදු කර යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍යවරියක රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හැරියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන චමිලා තුෂාරිකා පෙරේරා යන අයයි.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කරමින් වීරඹුගෙදර පොලිසියේ රථවාහන අංශය කියා සිටියේ සැකකාරිය අපරික්ෂාකාරීව සහ නොසැලකිලිමත්ව මෝටර් රථයක් ධාවනය කිරීම නිසා වීරඹුගෙදර ජාතික පාසල ඉදිරිපිටදී පෙරේදා (20) පෙරවරු 11. 45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බවය. අනතුර හේතුවෙන් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය අනතුර සිදු වන අවස්ථාවේ මොටර් රථය එක් පුද්ගලයකුගේ ශරීරය මතින් ධාවනය වී ඇති බව ද කීවේය.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පවා නොහැකි තරමට ඔවුන් බරපතළ තත්ත්වයේ පසු වන බව ද අධිකරණයට සැලකළ පොලිසිය සැකකාරිය රිමාන්ඩ් කරන්නැයි ද ඉල්ලා සිටියේය.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පැවසුවේ මෙම අනතුරට වගකිව යුත්තේ තම සේවාදායිකාව නොවන බවය. අනතුරට වගකිවයුත්තේ පැදිකරුවන් බව ද කියා සිටි නීතිඥවරයා අනතුර සිදු වන අවස්ථාවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මින්දු වීරසිංහ මහතා මෝටර් රථයේ ඉදිරි අසුනේ සිට ඇති බවත් ඔහු ඊට සාක්ෂි දරන බව ද ප්‍රකාශ කළේය.

යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී පළමුව එම බස් රථයේ ගැටී යතුරුපැදිය පසුව තම සේවාදායිකාවගේ මෝටර් රථයේ ගැටී ඇති බව ද කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා ඒ අනුව සැකකාරිය වරදක් සිදු කර නැති නිසා ඇප මත මුදා හරින ලෙස ද ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා සැකකාර විශේෂඥ වෛද්‍යවරිය රිමාන්ඩ් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් ඇය ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණ.

අනුරාධපුර – උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT