Wednesday, April 23, 2025
Home » ප්‍රා/ලේකම් කාර්යාලවලට නෑවිත් අස්වැසුම අයදුම් භාර දෙන්න ක්‍රම කීපයක්

ප්‍රා/ලේකම් කාර්යාලවලට නෑවිත් අස්වැසුම අයදුම් භාර දෙන්න ක්‍රම කීපයක්

by sachintha
February 22, 2024 12:53 am 0 comment

රජයේ සුබසාධන ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වන ‘අස්වැසුම’ ජාතික වැඩසටහනේ දෙවැනි අදියර සඳහා ඉල්ලුම් කරන අයවලුන් හට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොපැමිණ අයදුම්පත් භාරදීමට ක්‍රම කිහිපයකින් අවස්ථාව සලසා ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ප්‍රභාත් ශ්‍රී අබේවර්ධන මහතා පවසයි. ‘අස්වැසුම’ ජාතික වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය පෙබරවාරි 15 වැනි දින ඇරඹුණු අතර එය මාර්තු මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

“මෙම කාල සීමාව තුළ ‘අස්වැසුම’ වැඩසටහන යටතේ ප්‍රතිලාභ බලාපොරොත්තු වන පුද්ගලයන්ට ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. එහිදී සිදු කරන වැදගත්ම කාරණය තමයි පසුගිය අදියරේදී ‘අස්වැසුම’ ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නට බැරි වුණු එය නොලැබුණු සුදුසුකම් සහිත පුද්ගලයන්ට මෙම අදියරේදී ඔවුන්ගේ ඉල්ලීම ප්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ සඳහා තමන්ගේ ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන යෑම මහජනතාවට අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ ඉල්ලුම් පත්‍රය වසම භාර ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරි වෙත ලබාදීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ඒ ඉල්ලුම් පත්‍රය අපට එවන්නට පුළුවන්කම තිබෙනවා” යැයි දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් ශ්‍රී අබේවර්ධන මහතා සඳහන් කළේය.

“ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් තමන්ගේ කාලය අපතේ යවා ගැනීමෙන් වළකින ලෙස ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ තිබෙන පහසුකම් භාවිත කරමින් තමන්ගේ ඉල්ලුම්පත අප වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා“ යැයිද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT