Home » සරත් ෆොන්සේකාගේ රාජසන්තක කළ විදෙස් මුදල්වලට නීතිපතිට මැදිහත් විය නොහැකියි – රජයේ නීතිඥවරිය මහාධිකරණයට දන්වයි

සරත් ෆොන්සේකාගේ රාජසන්තක කළ විදෙස් මුදල්වලට නීතිපතිට මැදිහත් විය නොහැකියි – රජයේ නීතිඥවරිය මහාධිකරණයට දන්වයි

by sachintha
February 22, 2024 12:53 am 0 comment

 

2010 ජනාධිපතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබී පෞද්ගලික බැංකුවක සේප්පුවල තිබියදී රාජසන්තක කරන ලද මුදල් ආපසු දෙන ලෙස අධිකරණ ඇමැතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතිපතිවරයාට හැකියාවක් නැති බව රජයේ නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය ඊයේ (21) කොළඹ මහාධිකරණයට දන්වා සිටියාය. විනිමය පාලන චෝදනා මත සරත් ෆොන්සේකා මහතාගේ හිටපු බෑනා වන දනුන තිලකරත්න මහතාගේ මවට එරෙහිව පනවා ඇති නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළ අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥවරිය මේ බව කියා සිටියාය.

නඩුව කැඳවූ අවස්ථාවේ දනුන තිලකරත්නගේ මව වන ප්‍රැන්සිස්කුගේ අශෝකා තිලකරත්න යන අය හෝ රාජසන්තක කරන ලද අනෙක් සේප්පුවේ හිමිකාරිය වන සේපාලි ගල්හේන අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අතර නීතිඥ නියෝජනයක් ද නොවීය.

මහ බැංකු අවසරයකින් තොරව අමෙරිකානු ඩොලර් 1,25,000ක් සහ ස්ටර්ලින් පවුම් 100ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් ප්‍රැන්සිස්කුගේ අශෝකා තිලකරත්න යන අයට එරෙහිව නඩු පවරා තිබේ.

කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවක ඇති ආරක්ෂිත සෙප්පු විත්තිකාරිය හා මහ බැංකු නියෝජිතයන් ඉදිරිපිට පසුගියදා අධිකරණ නියෝගය අනුව විවෘත කෙරිණ. එම සේප්පුවල තිබුණු විදේශ විනිමය අතුරින් යම් ප්‍රමාණයක් විනාශව ඇති බව පසුගියදා අධිකරණයට වාර්තා විය. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පෞද්ගලික බැංකුවේ කළමනාකාරවරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

උසාවියට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව අවසන් කිරීමට තීරණය කළේය.

දනුන තිලකරත්න මහතාගේ මවගේ නමින් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ආරක්ෂිත සේප්පු කිහිපයක් 2010 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබන ලදි. ඒවා විවෘත කරන ලෙස පෙර අවස්ථාවක වෙනත් අධිකරණයක් මඟින් නියෝගයක් නිකුත් කරනු ලැබුව ද හිමිකරුවන් ඉදිරිපත් නොවීම නිසා එම නියෝගය ක්‍රියාත්මක නොවීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිත අවසරයකින් තොරව 2010 ජනවාරි මස 28දා හෝ ආසන්න දිනෙක තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ආරක්ෂක සේප්පුවක අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් සහ රුපියල් තැන්පත් කිරීම මඟින් විත්තිකාරිය විනිමය පාලන පනත හා මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරන ලදැයි අධිචෝදනා ගොනු කර ඇත.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT