Home » මීගොඩ ආර්ථිකයට කොල්ලකරුවන් පැන්නේ පොලිසිය නිදා සිටියදී -ඔත්තුකරුවෙක් දුරකතන ඇමතුමක් දීලා

මීගොඩ ආර්ථිකයට කොල්ලකරුවන් පැන්නේ පොලිසිය නිදා සිටියදී -ඔත්තුකරුවෙක් දුරකතන ඇමතුමක් දීලා

by sachintha
February 22, 2024 12:51 am 0 comment

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි වෙළෙඳසලකට පසුගිය 12 වැනිදා අලුයම කොල්ලකරුවන් කඩාවැදී ඇත්තේ පොලිස් මුරපොළේ සිටින නිලධාරින් එහි ඉහළ මහලේ නිදාගෙන සිටින බව ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔත්තුකරුවකු විසින් ලබා දුන් දුරකතන ඇමතුමකින් අනතුරුව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඒ බව හෙළිවී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ සේවයේ නිරත පුද්ගලයකුව සැකපිට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේදීය.

මෙම කොල්ලය සැලසුම් කර ඇත්තේ එම පුද්ගලයාත් හෝමාගම ප්‍රදේශයේ පදිංචි මගී බස් රථවල බෆල් සහ විදුලි බුබුළු සවි කරන අයකු විසින් බවට තොරතුරු ද හෙළි වී ඇත. ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟිනි.

සැකකරුවන් දෙදෙනාම මීගොඩ පදිංචිකරුවන්ය. 32 හැවිරිදි වියේ පසුවන එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩගමදී බවත් 45 හැවිරිදි වියේ පසුවන අනෙක් සැකකරු හෝමාගමදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

පොලිස් විශේෂ කාර්ය බළකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බළකාය පූගොඩ කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.ඒ.එම්.පී. වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත.

ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT