Home » බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුත් සමඟ ඩුබායි මෙහෙයුමකදී උෟරගහ මයිකල් ඇතුළු පාතාලයෝ 13ක් මාට්ටු

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුත් සමඟ ඩුබායි මෙහෙයුමකදී උෟරගහ මයිකල් ඇතුළු පාතාලයෝ 13ක් මාට්ටු

by sachintha
February 22, 2024 12:50 am 0 comment

 

ඩුබායිහි පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවුණු ගැටුමකින් අනතුරුව ඩුබායි පොලිසිය මඟින් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පිරිස අතර දකුණු පළාත හොල්ලාගෙන සිටින කොස්ගොඩ සුජී නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ දකුණු අත බදු ගෝලයා වන ඌරගහ මයිකල් සිටින බව ඩුබායිහි තොරතුරු අනාවරණය කරයි.

ඌරගහ මයිකල් නමැත්තා සුජීගේ කොන්ත්‍රාත් ඝාතන බොහොමයක් මෙහෙයැවූ අයෙකි. බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය මෙහෙයැවූ අය අතර ද ඌරගහ මයිකල් සිටියේය. එල්.ටී.ටී.ඊ.යේ චාල්ස් ඇන්නී බළකායේ වෙඩික්කරුවකු වූ බුම්මා නොහොත් කෙනඩි නමැත්තාව දකුණේ කුලී ඝාතන සඳහා යොදා ගත්තේ ද ඌරගහ මයිල්ය. මිනිස් ඝාතන කොල්ලකෑම් මෙන්ම අපරාධ ගොන්නක් සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටින්නකු වන මයිකල් හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙකි.

ඩුබායි පොලිස් භාරයට 13 දෙනකු හෝ ඒ ආසන්න පිරිසක් ගෙන ඇති බවත් ඒ අය අතර ඌරගහ මයිකල්ට අමතරව ශ්‍රී ලාංකිකයන් කීදෙනෙක් සිටීදැයි පැහැදිලි තොරතුරක් ඊයේ සවස් වන තුරුම මෙරටට නිල වශයෙන් ලැබී තිබුණේ නැත.

විවිධ තොරතුරු පාර්ශ්ව මඟින් කියැවුණේ ඌරගහ මයිකල් ඇතුළු අපරාධකරුවන් 13 දෙනකු ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින බවත් ඒ අතර බෙලිඅත්තේදී අපේ ජන බලවේගය පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු 05 දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඩුබායි පැනගත් නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළකු වන චම්පික ප්‍රසන්න කුමාර ද සිටින බවත්ය.

ඌරගහ මයිකල් හඳුනාගෙන ඇත්තේ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් ක්‍රියාත්මක කිරීමට රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් යැයි ද තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහු හැරුණු කොට මෙම කණ්ඩායමේ ශ්‍රී ලංකිකයන් කීදෙනකු සිටීදැයි නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැත. ඇතැම් තොරතුරු සඳහන් කරනු ලබන්නේ අත්අඩංගුවට ගෙන ඇති අය අතර ශ්‍රී ලංකිකයන් බව කියැවෙන දෙදෙනකු සිටින බවය.

මෙතෙක් ඩුබායි පොලිසිය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය මඟින් තහවුරු කිරීමක් කර නැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම රාත්‍රී සමාජ ශාලාව සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක පිහිටා ඇති බව ද කියැවේ.

“උදේ කාලේ අපට තොරතුරු ආවේ යම් ගොඩනැඟිල්ලක් වටකර ඩුබායි පොලිසිය මෙම සැකකරුවන් පිරිස රඳවාගෙන ඉන්නා බවයි. හවස තොරතුරු ලැබුනා සාප්පු සංකීර්ණයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව. රාත්‍රී කාලයේ තොරතුරු ලැබුණා රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවුණු ගැටුමක් මුල්කරගෙන මේ අය අත්අඩංගුවටගත් බව“ යැයිද එම නිලධාරියා කීය.

“අපට තිබෙන තොරතුරුවලට අනුව යමක් සිදුවෙලා තියෙනවා. නිශ්චිත ලෙස අත්අඩංගුවට ගත් ප්‍රමාණය ගැන කිසිවක් වාර්තා වන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති අපේ ජාත්‍යන්තර පොලිස් ශාඛාවේ නිලධාරීන් තොරතුරු දැන ගැනීමට උත්සාහ ගනිමිනුයි ඊයේ රාත්‍රී කාලයේත් ගත කළේ. බොහෝ විට මැදියම වන විට අපට ප්‍රංශයේ ඉන්ටර්පෝල් මූලස්ථානය හරහා යම් නිශ්චිත තොරතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා“ යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩුබායි රැඳී සිටිමින් මෙරට අපරාධවල නිරතව සිටින සහ අපරාධ සිදුකර ඩුබායි පලාගොස් සිටින අපරාධකරුවන් 100ක පමණ ලැයිස්තුවක් පසුගිය දිනවල පොලිසිය මඟින් සකස් කර තිබී ඇත. එම අපරාධකරුවන් ගැවසෙන ප්‍රදේශ ගැන බුද්ධි තොරතුරු රැස් කරමින් ඒ බව ඩුබායි පොලිසිය දැනුවත් කරමින් එම අපරාධකරුවන්ගේ ලැයිස්තුව ඡායාරූප සහ ඔවුන්ගේ ගමන් බලපත්‍ර ඇතුළු තොරතුරු සමඟ ඩුබායි පොලිසියට දී ඇති බව ද ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ ඩුබායි පොලිසිය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව ඩුබායිහි රැඳී සිටින අපරාධකරුවන් කොටුකර ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමකට මුලපිරීමක් ලෙසිනි. කෙසේ වෙතත් ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් බොහෝ දෙනකු මේ වන විට ඩුබායි අතහැර යුරෝපීය රටවලට යමින් ඇති බවට බුද්ධි අංශ තොරතුරු සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT