සිසුවකුගෙන් 1400 – 2000 අතර ගාණක් අය කරලා
වැඩි මුදල් එකතු කරන්න අපි අනුමැතිය දී නෑ
-හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට හැඳුනුම්පත සකස් කර දීමට අයථා ලෙස ඇතැම් පාසල්වල ගුරු භවතුන් මුදල් එකතු කරමින් සිටින බවට මවුපියන් මැසිවිලි නඟති.
පාසල් සිසුන් 10 ශ්‍රේණියට හෝ 11 ශ්‍රේණියට සමත් වීමත් සමඟම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට කටයුතු කරනුයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට අත්‍යාවශ්‍ය බැවිනි. හැටන් අධ්‍යාපන කලාපයට අයත් පාසල්වලින් සිසුන්ගේ හැඳුනුම්පත සකස් කරදීම සඳහා එක් එක් පාසල්වලින් විවිධ මිල ගණන් යටතේ සිසුන්ගෙන් මුදල් අයකරමින් සිටින බව මාපියෝ පවසති. ඇතැම් පාසල්වලින් එලෙස මුදල් අයකිරීමේදී රුපියල් 1400 හා 2000 මෙන්ම ඒ අතර ගණන් ද අය කරමින් සිටී. මෙසේ මිල වැඩිවීමට හේතුව, අගය මත එකතු කළ බද්ද හෙවත් වැට් බද්ද ඉහළ යාම නිසා බවද පවසා තිබේ.
මෙම හැඳුනුම්පත සකස් කිරීම සඳහා මුදල් වැය වන්නේ පහත ආකාරයටය. හැඳුනුම්පත, ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් නොමිලේ ලබා දෙනු ඇත. යම්කිසි විදියකින් දරුවන් එම පෝරම පිරවීමේදී වැරදීමක් සිදු වුවහොත් නැවත ඉල්ලුම්පත්‍රයක් නොමිලේ ලබා ගත හැකිය. මුදල් ගෙවිය යුතු වන්නේ හැඳුනුම්පත සඳහා රජයේ ගාස්තූ රුපියල් 200 කි. වෙනත් මුදල් අවශ්‍ය උප්පැන්න සහතික මුල් පිටපතක් සඳහා රුපියල් 120 කි. එම සහතිකය සිසුන් ගෙනවිත් දෙන්නේ නම් එම මුදල අවශ්‍ය නොවේ. එමෙන්ම ඡායාරූප ශිල්පියකු පාසලට කැඳවා ඡායාරූප ගැනීමේදී වැය වන උපරිම මුදල රුපියල් 400 කි. ඒ අනුව මේ සියලුම කටයුතු වෙනුවෙන් එකතු කළ යුතු මුළු මුදල රුපියල් 720 කි. රුපියල් 200 ඉක්ම වූ කිසිදු මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලින් අය නොකරනු ලැබේ. අවශ්‍ය වුවහොත් තැපැල් කටයුතු සඳහා සුළු මුදලක් වැය වුනත් මේ ආකාරයෙන් මුදල් එකතු කරන්නේ කුමක් සඳහා දැයි මව්පියෝ විමසති.
මේ සඳහා මුදල් වැය වන ගණන් පිළිබඳව මව්පියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතමින් විමසන්නේ, දරුවා වෙනුවෙන් වුනත් නිකරුණේ මුදල් වියදම් කිරීමට තරම් ආර්ථික ශක්තියක් පවතින කාලයක් නොවන නිසාය. රටේ ආර්ථිකය මේ තරම් ඉතා දුෂ්කර මට්ටමේ තිබියදී අධ්‍යාපනය ලබා දිය යුතු නිසාම දරුවන් පාසල් එවනවා හැරෙන්න පාසලට හා උපකාරක පංති වෙත තම දරුවන් යොමු කරන්නේ පුළුවන්කමකටම නොවන බව ද මාපියෝ මැසිවිලි නඟති. පාසලක කටයුතු සඳහා මුදල් අය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාරණය කරනු ලැබ තිබෙන අතර, මුදල් අයකිරීමක් කරන්නේ නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර අනුමැතිය ලබාගෙන තිබිය යුතුය. එමනිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. විජේන්ද්‍රන් මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ එලෙසින් වැඩි මුදලක් අයකිරීමට අනුමැතිය ලබා දී නොමැති බවත් මේ චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත් පැවසුවේය.
හැටන් – චන්දන ජයවීර