සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුරක්ෂිතලත් ගනුදෙනුවලට අදාළ පනත් කෙටුම්පත ගෙන එන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.
ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
“වාහන ඉඩකඩම් ආදිය ඇපයට තබා ගනිමින් ණය ලබා ගැනීම සිදුවන අතර මෙම පනත් කෙටුම්පත තුළින් සිදුවන්නේ ස්පර්ශ කළ නොහැකි දේපළ එනම් ව්‍යාපාරයක හිමිකාරිත්වය, ව්‍යාපාරයක කොටස් අයිතිය ආදිය ඇපයට තබා ගනිමින් ණය ලබාගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීමයි.
මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා වෙනමම කාර්යාලයක් ද ස්ථාපිත කරනවා.
රටක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ඉතා වැදගත්. නමුත් මෙතුමාලා යෝජනා කරනවා මානුෂිකව හිතන්න කියලා. නමුත් අපට සිතන්නට සිදුව තිබෙන්නේ මේ රටේ දෙකෝටි විසි ලක්ෂය ගැනම අවධානය යොමු කරමින්. ඒක නිසාම තමයි දෙකෝටි විසි ලක්ෂයම ගැන සිතමින් කවුරුත් රට භාර නොගන්නා අවස්ථාවේ ජනාධිපතිවරයා රට භාර ගත්තේ. ඒක නිසා අර්බුදයකට රට පත්ව ඇති අවස්ථාවේදී විවිධ පාර්ශ්ව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම කතා කරන්න පුළුවන්. අපි මේක ලඝු කරන්නේ නැහැ. බැංකුවල අයනොකරන ණය සීමාව සියයට දහතුන දක්වා සීමාවක් වී තිබෙනවා. බැංකුවක් යම් අපහසුවකට පත්වුණොත් මුළු ආර්ථිකයටම එය බලපානවා. මේ බැංකුවල සිටින තැන්පත්කරුවන් පන්කෝටි හැට ලක්ෂයකට අධිකයි. එයින් සියයට හැටක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු තබන ලද අය. මේ බැංකුවල වත්කම්වලින් සියයට අසූවක් ජනතාවගේ. ආණ්ඩුව බැඳී සිටිනවා සියලු දෙනා ආරක්ෂා කරන්නට. ඒ නිසා තමයි වරින්වර විවිධ චක්‍රලේඛ ගසමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කරන්නට කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් පත් කර තිබෙනවා. යම් වකවානුවක පරාටේ නීතිය ඉවත් කළොත් සිදුවන බලපෑම සම්බන්ධයෙන් එම අංශය සොයා බලනවා. මේ චක්‍රලේඛවලින් තවදුරටත් පීඩාවට පත්වෙනවා ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම්.
අද විශේෂ පනත් කිහිපයක් ඉදිරිපත් කරනවා. අද දිනයේදී මෙම පනත් සම්මත කරන්නේ නැහැ. සුරක්ෂිතලත් ගනුදෙනුවලට අදාළ පනත් කෙටුම්පත මඟින් බලාපොරොත්තු වන්නේ ආයතනවල, පුද්ගලයින්ගේ ද්‍රවශීලතාවට තවත් පහසුකම් සැපයීමයි. මූල්‍යමය පහසුකම් ලබාගැනීම වඩාත් සරල කිරීමත් වඩාත් පහසු කිරීමත් අරමුණක්. ඒ වගේම මූල්‍ය පහසුකම් සපයන බැංකු වැනි ආයතනවලට වඩාත් හොඳ ආරක්ෂාවක් ලබාදීමත් අරමුණක් වෙනවා. අපි දන්නවා අපේ රටේ ණය ලබාගැනීමේදී ඉඩම් හා වාහන තබනවා. බොහෝවිට ඒ ලියාපදිංචි වීම තුළ ඉඩම ඇපයක් ලෙස තබාගෙන ණය දෙනවා. ඉඩමක් ඇපයට තබාගෙන ණය ලබාදීමේ ඉඩම පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම අපහසු නැහැ.
වාහනවලත් පැහැදිලි ලියාපදිංචියක් තිබෙනවා. වාහනයක් තිබෙන අයකුට මූල්‍ය පහසුකම් ලබාගැනීම පහසුයි. තමන් සතුව තිබෙන වෙනත් චංචල දේපළ, ආයතනයක් සතුව තිබෙන යන්ත්‍රයක්, උපකරණයක් ඇපයට තබාගෙන ණය ලබා ගැනීමේදී ගැටලුවක් තිබෙනවා. ඒ වෙනුවෙන් පහසුකම් සැපයීම මෙහි අරමුණක් වෙනවා. මෙහිදී ස්පර්ශ කළ හැකි හා නොහැකි දේපළ ලෙස කොටස් දෙකකට වැටෙනවා.
ස්පර්ශ කළ හැකි දේවල්වලට ගැනෙන දේවල් තිබෙනවා. ඒ වගේම ස්පර්ශ කළ නොහැකි දේපළ අතරට කොටස් අයිතිය, ගොඩනැගිල්ලක් බදු අරන් තිබෙනවානම් ඉදිරියේදී ඒ වෙනුවෙන් ඇති කාලයත් මේ යටතට ගැනෙනවා. චංචල දේපළ ලියාපදිංචි කිරීම තුළින් ඒවා ඇපයට තබාගෙන ණය ලබාගැනීමට පහසුකම සැපයෙනවා. 2009 මේ සම්බන්ධයෙන් පනතක් තිබුණා. නමුත් එහි යම් යම් අඩුපාඩු තිබුණා. ඉන්පසුව 2019 දීත් මීට අදාළ පනතක් ගෙනාවා. එයත් ක්‍රියාත්මක කරන්නට බැරිවුණා. සුරක්ෂිතලත් අධිකාරියක් පිහිටුවීමටත් නියමිතයි මේවා නියාමනය කිරීමට. ණය තොරතුරු කාර්යංශය තුළ චංචල දේපළ ලියාපදිංචි කිරීම සිදු කෙරෙනවා. රටේ ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීම මෙහි අරමුණක්.”