Home » ශ්‍රී ලංකාවේ PCB මෙට්‍රික් ටොන් 200 ක් සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ

ශ්‍රී ලංකාවේ PCB මෙට්‍රික් ටොන් 200 ක් සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ

by chanaka
February 21, 2024 2:48 pm 0 comment

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ගෝලීය පරිසර පහසුතම (gef) සමග එක්ව පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවේ උපයෝගීතා ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමී ලෙස පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) කළමණාකරණය පිළිබද අවසන් වැඩමුළුව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ ඊයේ(20) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ය.

දිගුකල් පවත්නා කාබනික දූෂකයක් ලෙසත් ඉහළමපෙළේ පිළිකාකාරකයක් ලෙසත් හදුනාගෙන ඇති පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) මගින් පරිසරයට හා මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ සෞඛ්‍යයට වන අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමින් දිගුකල් පවත්නා කාබනික දූෂක පිළිබද වූ ස්ටොක්හෝම් සම්මුතිය විසින් පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, PCB ලෝකයෙන් තුරන් කිරීම සදහා ශ්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම කටයුතු කරමින් පවතී. ඒ අනුව වසර 2028 වන විට ලෝකයේ සෑම රටක්ම PCB භාවිතය අවසන් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව PCB භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පරිසර අමාත්‍යාංශය සක්‍රීයව ක්‍රියාත්මක වන අතර මේ සඳහා ගෝලීය පරිසර පහසුතම (gef) මූල්‍යමය දායකත්වය දක්වන අතර එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මගින් තාක්ෂණික සහයෝගය ලබා දෙයි. 2015 දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4.725 ක් ගෝලීය පරිසර පහසුතම (gef) විසින් ලබාදී ඇත.

මෙම පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) කළමණාකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, කාර්මික තාක්ෂණික ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක දායකත්වය ලබාදී ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ඉහළම PCB භාවිතයක් සිදුවන විදුලි ට්‍රාන්ස්ෆෝමර් හා වෙල්ඩින් යන්ත්‍ර වල පිරිසිදු PCB භාවිතය 100% ලෙස ඉවත් කිරීමට සමත් වී ඇති අතර එමගින් ඉවත් කළ PCB ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22කි. එසේම තවත් මිශ්‍ර PCB මෙට්‍රික් ටොන් 178.2 ද භාවිතයෙන් ඉවත් කිරීමට මෙම ව්‍යාපෘතියට හැකි විය. ලංකාවේ සිදුකළ මෙම PCB කළමණාකරණ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ විශේෂ ඇගයීමකට ලක්විය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ B.K. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකළ අතර මෙම ව්‍යාපෘතිය ලංකාවේ සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සැපයූ රාජ්‍ය ආයතන ඇගයීමකටද ලක් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ජාතික අධ්‍යක්ෂ නවස් රාජාබ්දීන්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසිංහ, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මහින්ද වේරහැර , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT