Home » ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මරන්න කුමන්ත්‍රණයක් ඇතැයි කීවාට එහෙම දෙයක් හෙළිවන්නේ නෑ

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මරන්න කුමන්ත්‍රණයක් ඇතැයි කීවාට එහෙම දෙයක් හෙළිවන්නේ නෑ

by sachintha
February 21, 2024 12:00 am 0 comment

අනුකම්පාව දිනා ගැනීමට මෙවැනි ඉල්ලීම් කරන්න එපා

කොටුව මහේස්ත්‍රාත් නීතිඥවරුන්ට කියයි

 

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මැරීමට ගිය ජනවාරි 19දා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බවට කිසිම කරුණක් අනාවරණය නොවන බවත් අසත්‍ය ඉල්ලීම් සහ අනුකම්පාව දිනා ගැනීමට මින් ඉදිරියට ඉල්ලීම් කිසිවක් සිදු නොකරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ සැකකරුවන් සිර කුටියේ නිදා සිටින විට රාජකාරි නිලධාරින්ට බාහිරව වෙනත් නිලධාරීන් පිරිසක් එහි පැමිණීම සම්බන්ධයෙන් කළ විමර්ශන ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අධිකරණ නියෝග ප්‍රකාරව එදින සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී තැටි හතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේය.

ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙරවරු 6.00 දක්වා සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කළ නියෝග ප්‍රකාරව සැකකරුවන් රඳවා සිටින සිරකුටි ආශ්‍රිත දර්ශන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සැකකරුවන්ට ජීවිත තර්ජන ඇති බවට ඔවුන් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥවරුන් කළ ඉල්ලීමට අනුව එකී දර්ශන කැඳවූවද එහි සැකයට තුඩුදෙන කිසිවක් නැති බව විමර්ශන අනාවරණය කර තිබුණි.

තමන් සැකකරුවන් නිරීක්ෂණය කරන අවස්ථාවේදී පවා ඔවුන්ගෙන් මේ බව විමසා සිටි බවත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් කීමට පවා ඔවුන් අපොහොසත් වූ බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

“මතක නැහැ දන්නේ නැහැ දැක්කේ නැහැ කියන්න බැහැ. අවශ්‍ය නිවැරැදි ඉල්ලීම කරන්න ඕනෑ. STF මරන්න ආවා කියනවා. එහෙම එකක් නැහැ. නිලධාරීන් පවා ගෙන්වා විමසීම් කළ බව කී මහේස්ත්‍රාත්වරයා අනුකම්පාව දිනා ගැනීමට මින් ඉදිරියට ඉල්ලීම් කරන ලෙස දැනුම් දුන්නේය.

එදින රාජකාරි නිලධාරින්ට පරිබාහිරව සිවිල් ඇඳගත් නිලධාරීන් එහි පැමිණ ඇති බවටත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ආසන්න අවස්ථාවේ ඔවුන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවටත් මෝසමක් ගොනු කරමින් එම අවස්ථාවේ සීසීටීවී දර්ශන පරීක්ෂා කරන ලෙස කළ ඉල්ලීම සලකා බලමින් කළ නියෝගවල වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විදේශගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම,මනුෂ්‍ය ඝාතන,මත්ද්‍රව්‍ය ජාවාරම්,සංවිධානාත්මක අපරාධ ක්‍රියා කරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාතාලයේ ප්‍රබලයන් වන කුඩු සළිඳු සහ හරක් කටා යන දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය ඇතුළු නීතිඥ මඬුල්ලක් මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT