Home » කොළොම්තොට කලඑළි කරන නවම් මහ පෙරහර 23 – 24

කොළොම්තොට කලඑළි කරන නවම් මහ පෙරහර 23 – 24

by sachintha
February 21, 2024 1:45 am 0 comment

 

ලක්දිව අග නගරයේ බෞද්ධ පුනරුදයේ මුදුන්මල්කඩ බඳුවූ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 46 වන වතාවටත් මේ මස 23-24 දෙදින තුළ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධාන වී තිබීම දෙස්-විදෙස්, බෞද්ධ-අබෞද්ධ සැමගේ අමන්දානන්දයට හේතුවී තිබේ. ගංගාරාම මහා විහාරය බෝධිසත්වගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පුණ්‍ය භූමියකි.

1886.11.06 වන සෙනසුරාදා ‘ලක්මිණි පහණ’ පුවත්පතේ සඳහන් වූ පුවතට අනුව සී. මැතිව් මහතා මීට වසර 35කට පමණ පෙර පටන් සිව්දිගින් වඩිනා මහා සඟරුවනට ඉතා ප්‍රයෝජනවත් වූ සංඝාරාමය ප්‍රතිසංස්කරණය කර ගංගාරාම මහා විහාරයට කළ පූජාවන්ගෙන් පැහැදිලි වන්නේ මේ විහාරයේ ඉතිහාසයයි.

පෙරහර භාරතයේ පමණක් නොව හෙළදිවෙහි ද පොදු ජාතික උරුමයක් ලෙස මුල්බැස ගත්තකි.

පෙරහර හුදීජන පහන් සංවේගය දනවන්නක් බව මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ ස්වකීය බුදුසමයේ ඉතිහාසය නම් කෘතියේ 294 වන පිටුවේ මෙසේ සඳහන් කරති. “අශෝක අධිරාජයා ප්‍රදර්ශන හා පෙරහර සංවිධාන කර මේවායේදී දිව්‍ය රථවල හුන් දෙවියන් පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ නෙත් සිත් පිනවන දිව්‍ය විමාන ද දැක්වූ බවක් 4 වන සෙල් ලිපියේ සඳහන් වන බව පෙන්වා දෙයි.

කොළඹ නවම් මහා පෙරහරේ විශේෂත්වයක් වන්නේ සධාතුක ධාතුකරඬුව පිටුපසින් භික්ෂු පෙරහරක් වැඩම කරවීමයි. ආචාර්ය ගුණපාල වීරසේකරයන් මහාවංශයේ පිටු 608 සිට 609 දක්වා ඇති පරිදි දඹදෙණි විජයබාහු රජතුමා ද ධාතු පෙරහර සමඟ භික්ෂු පෙරහරක් පවත්වා ඇති බව සඳහන් කරයි.

නවම් මහා පෙරහරේ පූර්ව චාරිත්‍ර විධි:

පෙරහර පැවැත්වෙන බව සනිටුහන් කර ගනිමින් විහාරස්ථ දායක සභාව කුලඟන සමිතිය තරුණ සංවිධාන දැනුම්වත් කරමින් ජනාධිපති උපදේශක අග්‍රාමාත්‍ය කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,

බුද්ධශාසන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය අදාළ නිලධාරින් රැස්කරවා සාකච්ඡා වට කීපයකින් පසු පෙරහර පැවැත්වෙන දින 02 තීරණය කරයි. මාසයක පමණ කාලයක සිට දිනපතා පැවැත්වෙන

අටවිසි බුද්ධ පූජා, කේශධාතු වන්දනා, බෝධි වන්දනා ආදී පුදපූජාවල විශේෂත්වයක් කොට නවම් පෙරහරට ආශිර්වාද පිණිස එම පුදපූජා සිදුකරයි. සතියකට පෙර සිට පවත්වනු ලබන විශේෂ සතිපිරිත් දේශනාව නවම් පෙරහරට ආශිර්වාද පිණිසම දේශනා කරන්නකි. දිනපතා විශේෂ බෝධි පූජා පින්කම් සිදු කර විෂ්ණු කතරගම දේවාලවල පුදසිරිත් පවත්වා නවම් මහා පෙරහර පවත්වා එයින් ලැබෙන පින් දෙවියන්ට අනුමෝදන් කරන බව සිහි ගන්වා පෙරහරේ ගමන් කරන අලි-ඇතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරනු ලබන බව සිහිපත් කරයි. අනතුරුව සතියක පමණ කාලයක සිට පෙරහර ගමන් මාර්ගය තුළ විශේෂ මල් පෙරහර දින 07ක් පවත්වයි. නිලමේවරුන් ලෙස ගමන් කරන ප්‍රභූන් දිනපතා සවස පැවැත්වෙන අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම්වලට සහභාගි වී මස් මාංශවලින් තොරව පේවී ඊට සුදුසුකම් සපුරා ගනී. පිරිත් දේශනාව අවසානයේ පිරිත් පැන්, පිරිත් කළ ලදපස්මල්, වැලි, පඬුරු පෙරහර ගමන් මාර්ගයේ ඉසිමින් කහදියර ඉස පෙරහර මාර්ගය පවිත්‍ර කර ගන්නා අතර අලි ඇතුන්ටද ඇත්ගොව්වන්ට ද පිරිත් පැන් ඔවුන් සුවපත් කරගනී. ගංගාරාම විහාරස්ථානයේ දිනපතා සිදුකරනු ලබන ශබ්ද පූජා ගිලන්පස මල් පහන් පූජා බෝධිපූජා අටවිසි බුද්ධ වන්දනා කේශධාතු වන්දනා සීවලී ධාතු වන්දනා ආදී වශයෙන් පුදසත්කාර ලබන ධාතූන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කර සැමට ආශිර්වාද පිණිස වීථිවල සංචාරය කරයි.

වර්ෂයක් පාසා සිදුකරන මේ අසිරිමත් හෙළ මහා කලා මංගල්‍යය සියැසින් දැකබලා ගනු වස් පැමිණෙන දෙස් විදෙස් ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අන්‍ය ආගමික ලබ්ධීන්ට සමානාත්මතාවයෙන් පෙරහර නැරඹීමට අවශ්‍ය ආරක්‍ෂාව පහසුකම් සංවිධායක කමිටුව විසින් සලසනු ලබයි. අසිරිමත් මහා කලා මංගල්‍යයෙන් පිදුම් ලබන්නේ අපේ රටේ අහිංසක කලාකාමීන් බව අපි සැවොම දන්නා කරුණකි. උඩ පහත දෙරට කලාකාමීන් විසි දහසකට අධික පිරිසක් මේ රටේ වෙහෙර විහාර ආශ්‍රිත පෙරහර මංගල්‍යය නිසා සිය ජීවන

අභිවෘද්ධිය රැක ගනී. පෙරහරට ආධාර සපයා දීමෙන් අප සිදුකරන්නේ දේශීය කලාකරුවන් රැකගැනීමයි.

ශතවර්ෂාධික කාලයක් ආයු ලබා චිරජීවනය ලැබීමට මේ මහා පුණ්‍යකර්මයම ප්‍රමාණවත් වේ යැයි අපට හැඟුණු වාර අනන්තය. ගංගාරාමයේ හා නවම් මහා පෙරහරේ අනන්ත භාරකාරත්වය උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාටම පවරා ජීවිතයේ සැඳෑ සුවය ආධ්‍යාත්මික සතුටින් ගත කරනු දැක්ම අප කාගේත් සතුටට හේතුවන්නකි.

ආගමික ආශිර්වාදයෙන් තිරිසන්ගත සතුන් පවා සංවර වන විට කලාව මානව වර්ගයාගේම අභිවෘද්ධිය පිණිස හේතුවී ඇති බව ප්‍රකට වෙයි. එක් එක් ප්‍රදේශවලට ආවේණිකවූ ජන නැටුම් එක් පෙරහරක දකින විට ප්‍රාදේශීය වශයෙන් මිනිසුන් බෙදී වෙන්වී ජීවත්වීමේ නිරර්ථක බව සුණු විසුණුවී යයි. ජාතියක් ලෙස එකට එක්වීමේ අභිමානය මානව සංහතියේ අභිවෘද්ධිය පිණිස එක්ව සිට ගැනීමේ උරුමය පෙරහර තුළින් විදහා දක්වයි. රොබට් නොක්ස් “එදා හෙළදිව” නම් කෘතියෙන් පෙන්වා දුන් පරිදි පෙරහර කඩකිරීමෙන්

සමඟිය කඩකිරීමත් විවිධ කලාකරුවන්ට එකම වේදිකාවක පෙනී සිටීමේ අයිතිය කඩකිරීමෙන් ජන විරෝධතා ගොඩනැඟීම ස්වයං සිද්ධ වූවකි. කලාව මිනිසා වෙන් නොකොට එකට බැඳ තබන හුයකි යැයි මට හැඟේ.

නවම් මහා පෙරහරේ විශේෂිත අංගයක් වන්නේ භික්ෂු පෙරහරයි. සැරියුත් මහමුගලන් අගසව් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම නවම් පොහෝ දින සිදුවූ විශේෂ ශාසනික කටයුත්තකි. අද අපේ නූතන භික්ෂු පරපුරේ ආරම්භය බුද්ධ කාලය දක්වාම විහිද පවතින්නකි. නවම් මහා පෙරහර නැරඹීමට පැමිණෙන විදේශික දූත පිරිස් වසරින් වසර වැඩි වෙමින් පවතී. එය රටේ ආර්ථිකයට ද එක් අතකින් සහනයකි. දිනපතා කොළඹ නගරයට විදේශිකයින් පැමිණෙන නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේ උරුමයන් විදහා දැක්වෙන පරිදි සංස්කෘතික වටිනාකමකින් යුත් පෞරාණික පොත් පත්, ඇත් දළ කැටයම්, පුස්කොළ පොත්, ලී කැටයම්, නිර්මාණවල එකතුවක් කෞතුකාගාරයක් ලෙස ඒකරාශී වී තිබේ. රාජ්‍යයක් විසින් රටේ ශ්‍රී විභූතිය විදහා දැක්වීමට කළ යුතු කටයුත්තක් ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කර තිබේ. එය නවම් මහා පෙරහරට අලංකාරයක් මෙන්ම අප රටේ ඓතිහාසික උරුමය විදහා දැක්වෙන්නක් ද වෙයි.

අවිස්සාවේල්ල කොටහැර

ශ්‍රී රාජගිරි විහාරාධිපති,

රාජකීය පණ්ඩිත,

ගෞරව ශාස්ත්‍රවේදී

මාදොල නන්‍දරතන නාහිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT