Home » ද. කොරියාවේ වෛද්‍යවරු ‘තොග පිටින්’ ඉල්ලා අස්වෙති වෛද්‍යවරු 1600ක් වැඩ වර්ජනයක

ද. කොරියාවේ වෛද්‍යවරු ‘තොග පිටින්’ ඉල්ලා අස්වෙති වෛද්‍යවරු 1600ක් වැඩ වර්ජනයක

by sachintha
February 21, 2024 1:38 am 0 comment

දකුණු කොරියාවේ වෛද්‍ය විද්‍යාලවලට ලබන වසරේ සිට නවක සිසුන් බඳවා ගැනීම දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධතාව පළ කරමින් එරට පුහුණු වෛද්‍යවරු 6415ක් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත දකුණු කොරියාවේ රෝහල් සේවය අඩපණ වී ඇතැයි ද, සැත්කම් රැසක් අත්හිටුවීමට සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන් නොනැවතී එම කනිෂ්ඨ වෛද්‍යවරු ඊයේ වැඩ වර්ජනයක ද නිරත වී ඇති අතර, ඊට 1600කට අධික වෛද්‍යවරු පිරිසක් සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛද්‍ය ක්ෂේත්‍රයට සිසුන් වැඩි වශයෙන් බඳවා ගැනීමට ගත් තීරණය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ වැඩිහිටි ජනගහනය ඉහළ යමින් තිබෙන පසුබිමක වෛද්‍යවරු විශාල වශයෙන් අවශ්‍ය වී ඇති බවය. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සංසන්දනය කිරීමේදී එරට ජනගහනයට අනුව වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය අඩු මට්ටමක පවතින බවත් ඔවුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එරට වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පා ඉල්ලා අස් වූ කනිෂ්ඨ වෛද්‍යවරු දහසකට වැඩි පිරිසකට නැවත සේවයට වාර්තා කරන ලෙස දකුණු කොරියානු රජය නියෝග කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. සේවයෙන් ඉල්ලා අස්වීමට අමතරව එම වෛද්‍යවරු විරෝධතා පා ගමනක් ද සංවිධාන කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT