Home » ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනතා සේවය උපරිමයෙන් ඉටු කළ දේශපාලනඥයෙක් මල්වතු – අස්ගිරි අනුනායක හිමිවරු ආදාහන උලෙළේදී පවසති

ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනතා සේවය උපරිමයෙන් ඉටු කළ දේශපාලනඥයෙක් මල්වතු – අස්ගිරි අනුනායක හිමිවරු ආදාහන උලෙළේදී පවසති

by sachintha
February 21, 2024 1:52 am 0 comment

සෝමාවතී පුද බිම සංවර්ධනයට මූලිකව කටයුතු කළා –සෝමාවති රාජමහා විහාරාධිපති පහමුනේ සුමංගල නාහිමි

ඉස්ලාම් ආගමිකයන් සමඟ සහජීවනයෙන් සිටියා- එල්. එම්. අමීන් ප්‍රධාන මව්ලවි තුමා

භීෂණ කාලයේ ජනතාව ආරක්ෂා කරගන්න ඉදිරිපත් වුණා – අකිල විරාජ් කාරියවසම්

පළාත් සභා සංකල්පය අර්ථවත් කළ දේශපාලනඥයෙක් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනතා සේවය උපරිමයෙන් ඉටුකළ පිළිගත් දැක්මක් තිබුණු දේශපාලනඥයෙක් බව මල්වතු අස්ගිරි අනුනායක හිමිවරු සඳහන් කළහ.

අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ ඊයේ (20) දිනයේ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ දෙපොළ එසේ සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වන අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නල මහජන ක්‍රීඩා භූමියේ දී ඊයේ සිදුවූයේ මහා සංඝරත්නය, මැති ඇමැතිවරු, දේශපාලනඥයන් දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැදය.

දේහය නිවසේ සිට අවමංගල්‍ය පෙරහරකින් රැගෙන විත් මහජන ගෞරවය සඳහා වික්‍රමශීලා ජාතික පාසලේ තැන්පත්කර තිබී අනතුරුව පන්නල මහජන ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබීය. එහි ඉදිකර තිබුණු විශේෂ පීඨිකාවක දේහය තැන්පත්කර ආගමික කටයුතු සිදු කර පැවැති ගුණකථනවලින් අනතුරුව අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කරමින් එහි දී මෙසේ සඳහන් කළහ.

ජයවික්‍රම පෙරේරා මැතිතුමාට ජනාධිපතිවරුන් දෙපළකගේ සම්බන්ධතාවය ඇතිව දේශපාලන කටයුතු කරන්න වාසනාව තිබුණා. හොඳ කීර්තිමත් පවුල් පසුබිමක් තිබුණා. අමාත්‍ය ධුරවල කටයුතු මැනවින් ඉටු කළා. විශේෂයෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා හැටියට විශාල සේවයක් කළා. පළාත් සභා සංකල්පය අර්ථවත් කළා. වයඹ පළාත් සභාවේ සම්පත් සංවර්ධනය කළා. ප්‍රඥා සම්පත්තියෙන් කටයුතු කළ මහජන සුබ සාධනයට කටයුතු කළ ජනතා නියෝජිතයෙක් මෙන්ම ප්‍රසංසා කළ යුතු ජන නායකයෙක් බව සඳහන් කළ හැකියි. එතුමාට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ ආණමඩුවේ දම්මදස්සී නාහිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කරමින් මෙසේ සඳහන් කළහ.

අවරුදු 83ක් ඉක්මවා ඇති ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා රටට වැඩැති පුද්ගලයෙක් ලෙස දිවි ගමන නිමා කළා. 1968 පමණ කාලේ ගම්සභාවෙන් ආරම්භ කළ ගමන් මග වයඹ මහ ඇමැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කැබිනට් ඇමැති, විශේෂයෙන් බුද්ධ ශාසන ඇමැති ආදී වශයෙන් ජනතා සේවය උපරිමයෙන් ඉටුකර ටික කලක් විශ්‍රාම සුවයෙන් නිවසේ ගතකර අවසන් ගමන් යන්නට වූ බව දැනගන්නට ලැබුණා.

එතුමා පිළිගත් දේශපාලන දැක්මක් තිබුණා. ඒ තුළම එතුමා රැඳී සිටිමින් කටයුතු කළා සමහර අය විවිධ හේතුන් නිසා පක්ෂය මාරු කළත් එය වැරදියි කියනවා නොවෙයි. නමුත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැලුණා. කියලා කියන්න පුළුවන්.

කුරුණෑගල දිස්ත්‍රික්කය වයඹ පළාත සුවිශේෂි වන්නේ වැඩිම බෞද්ධ වෙහෙර විහාර සංඛ්‍යාවක් දහම් පාසල් සංඛ්‍යාවක් තිබෙන පළාතක් එතුමාට විශේෂයෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්න ලැබීමත් එක අතකින් පිණක්. ඒ නිසා එතුමක් රැස්කළ පිනත් අප විසින් අනුමෝදන් කරන පිණත් එකතුව ඉක්මන් භවයක නිවන් සුව ලැබේවායි ප්‍රර්ථනා කරමු.

ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පහමුනේ සුමංගල නාහිමිපාණන් වහන්සේ- තිස් අවුරුදු යුද්ධයෙන් වනගතව සෝමාවතී පුද බිම සංවර්ධනය සඳහා මූලිකව කටයුතු කළා. පිවිසුම් මාර්ග සංවර්ධනය කළා. වටිනා ගොඩනැඟිලි ඉදි කළා. දුරින් එන බැතිමතුන්ට සහන සැලසුවා.

අවුරුදු 100කටත් වඩා කාලයකට පසු නැවත ශ්‍රී දළදා පෙරහර ආරම්භ කළා. සෝමාවති චෙත්‍යයේ සම්බුද්ධ රශ්මි විහිදෙන ආකාරය සියැසින් දකිමින් සතුටු වුණා. ඒ පිළිබඳව නිතර කතා කළා බුද්ධාලම්භන ප්‍රීතිය වින්දා. නිතර කතා කළා එතුමාගේ කැමරාව තුළ අදෘශ්‍යමාන සටහන් නිර්මාණය වුණා. එතුමා නිරාමිස ප්‍රීතියක් වින්දා.

අවංක බෞද්ධයෙක් ලෙස ජීවිතය ගතකළා මත්පැන් දුම්වැටියෙන් තොර වුණා පමණක් නොව නිර්මාංශ ආහාර පිළිවෙතක් එතුමාට තිබණා. එපමණක් නොවේ උපන් දිනයට අනිවාර්යයෙන්ම ශ්‍රී මහා බෝධින්වහන්සේ වන්දනා කළා. කතරගම කිරිවෙහෙර අසල බොහෝ වෙලා භාවනා කළා. මෙවන් බෞද්ධ චරිතයකින් හෙබි එතුමාට නිවන් සුව ලැබේවායි පතමු.

මෙහිදී කතෝලික ආගමික ජනතාව වෙනුවෙන් ශෝක පණිවුඩය ගෙන එමින් කුරුණෑගල පදවි අනුනායක පියල් ජානක ප්‍රනාන්දු පියතුමා කතාකරමින්, විදෙස්ගතවී සිටින හැරල්ඩ් ඇන්තනි පෙරේරා කතෝලික රදගුරුතුමන්ගේ ශෝකය ප්‍රකාශ කරනු ලැබීය. වයඹ මහ ඇමැතිතුමා වශයෙන් වයඹට කරන ලද සේවය තුළ කතෝලිකයින් වශයෙන් අපටත් වරප්‍රසාද භුක්තිවිඳින්නට හැකිවුණා. එතුමාට අපගේ ගෞරවය මෙන්ම එතුමා අදහන ආගම අනුව නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. යැයි එහි දී පියල් ජානක ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළහ.

එල්. එම්. අමීන් ප්‍රධාන මව්ලවි තුමා- මින් පෙර කතා කළ ආගමික නායකයින් මෙන්ම මටත් කියන්න තිබෙන්නේ එතුමා ඉස්ලාම් ආගමිකයින් සමඟ සහජීවනයෙන් කටයුතු කළා. මුස්ලිම් ජාතිකයන් නෑයින් ලෙස එතුමා කටයුතු කළා. ඒ ඒ කාලවල දී විශේෂයෙන් ඉස්ලාම් උත්සව අවස්ථාවල දී මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතා සොයා බලා කටයුතු කිරීමට වගබලා ගත්තා. මහම්මත් නබි තුමාගේ දේශනාවට අනුව ඕනැම පුද්ගලයෙක් ජීවත්වන කාලයේ දී යහපත් වැඩ කළානම් එම පුද්ගලයාගේ අභාවයෙන් පසු අවසන් කටයුතුවලට සහභාගි වන අයගේ යුතුකම සහ වගකීම වන්නේ එතුමාගේ යහපත පිළිබඳව ගුණ නැණ සිහිපත් කරමින් කතා කළ යුතුයි. අපගේ ආගම අනුව එය ස්වර්ග සම්පත් ලබන්න හේතු වෙනවා එතුමාගේ අභාවය සත්කෝරලයටම පාඩුවක් කෙසේ නමුත් අපි එතුමාගේ ගුණ සිහි කරමු.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා- ජයවික්‍රම පෙරේරා මැතිතුමා ගැන අටුවා ටීකා කියන්නට අවශ්‍ය නැහැ. 88 – 89 භීෂණ කාලයේ පාක්ෂිකයින් සහ ජනතාව ආරක්ෂා කරගන්න ඉදිරිපත් වුණා. එතුමා එඩිතර දේශපාලනඥයෙක්. අභියෝගවලට බය නැති නායකයෙක්. දුර්ලභ ගණයේ දේශපාලනඥයෙක්. අභිමානයෙන් කටයුතු කළා කලාකරුවෙක් කැරලිකාරී අවස්ථාවක වුවත් එතුමාගේ කරේ කැමරාව තිබුණා. වයඹට විතරක් ආවේනික වූ පරිසර අධිකාරියක් ආරම්භ කළා. ගොවිජනතාවට ජලය දෙන්න වැව් නිර්මාණය කළා. විද්‍යාල ආරම්භ කළා. මිල්කෝ සමාගම ආරම්භ කළා. ඇමැතිවරු සමඟ සහයෝගයෙන් කටයුතු කළා. බුදු පුත් සුරක්ෂා රක්ෂණය ආරම්භ කරනකොට මඟින් ඉල්ලීමක් කළා සිසු සුරක්ෂා ආරම්භ කරන්න එතුමා මට කතා කළා. මල්ලි කියලා එතුමා මට කතා කරන්නේ . හරිම විහිළුකාරයෙක් විදියට අපි සමඟ කටයුතු කළේ. පසුගිය කාලේ අපි සමඟ කතා කළා. ජනාධිපතිතුමා පසුගිය සතියේ ආවා. මෙහෙම වෙයි කියල අපි හිතුවේ නැහැ. දේශපාලනඥයෙකුට සාමාන්‍යයෙන් අවසාන කාලයේ සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ. මම හිතනවා එතුමා අවසාන කාලයේ සතුටින් ඉන්න ඇති කියලා. එතුමාට නිවන් සුව පතනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය මෙහි දී ඉදිරිපත්කරනු ලැබුවේ ද අකිල විරාජ් කාරියවසම් මහතාය.

“ජයවික්‍රම පෙරේරා දේශපාලනයට පිවිසියේ මාත් සමගයි. හැට ගණන්වල අවසානයේ කුරුණෑගලින් එතුමා දේශපාලනයට පිවිසියම මම කොළඹ යොවුන් සමාජ හරහා දේශපාලනයට පැමිණියා. අපි දෙන්නා පාර්ලිමේන්තු ගියෙත් එකට. ඒ 1977 දී අපි සමීපව ඇසුරු කළා. දේශපාලනය හැරුණු කොට ඔහු ආදරය කළ ක්ෂේත්‍ර දෙකක් තිබුණා. ඉන් එකක් තමයි පරිසරය. අනිත් එක ඡායාරූප ශිල්පය. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් දක්ෂ විය. විශේෂයෙන් වේග පන්දු යවන්නෙක් ලෙස ඒවගේම ඔහු කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ පෞද්ගලිකත්වය කැප කළා එසේම පසු කාලයක දේශපාලනයේ දී ඒ ආකාරයෙන්ම පෞද්ගලිතක්වය කැපකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කළා. ජයවික්‍රම පෙරේරා මහතාගේ පවුලේ සියලු දෙනා වෙත මගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේත් ශෝකය මේ අවස්ථාවේ දී පුදකර සිටිමි.”

රාජ්‍ය අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කරනු ලැබීය.

“කෘතහස්ත දේශපාලනඥයකු ලෙස තම පාක්ෂිකයන්ටත් පොදු ජනතාවටත් දශක 5කට අධික කාලයක් අමිල සේවයක් කළ ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් මා ඉමහත් කම්පනයට පත්වීමි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයකු ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද වාරිමාර්ග හා ජල සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවාවන් රැසක් තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත් බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් කුරුණෑගල දිස්ත්‍රික්කය හා වයඹ පළාතට එතැනින් නොනැවතී රටේ පොදු ජනතාවට පළාත් සභාවේ පළමු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ එතුමා වයඹ පළාතේ සංවර්ධනය උදෙසා ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් වයඹ පළාත සංවර්ධනය කිරීමට වෙර දරුව නායකයකු ලෙස හඳුන්වන්න පුලුවන් දේශපාලන මතවාද දෙකක් වුවත් මාගේ සහෘද හිතවතෙකු ලෙස නිරන්තරයෙන් මා සමඟ සමීපව කටයුතු කළ මිත්‍රයකු විය. අපගේ මිතුදම කිසිඳු විටෙක බිඳී නොගියේ අප අතර තිබූ අන්‍යෝන්‍ය අවබෝධය නිසාය. මහත්මා දේශපාලන වැඩපිළිවෙළ නවක පරපුරට ආදර්ශයකි. ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ අභාවයෙන් සංවේගයට පත් පවුලේ ඥාති මිත්‍රාදීන් හා සහ ප්‍රදේශවාසී ජනතාවටත් මෙම අවස්ථාවේ අපි සියලු දෙනා වෙනුවෙන් ශෝකය පළකර සිටිමු.“

හිටපු කථානායක කරු ජයසූරිය, වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය නීතීඥ අතුල විජේසිංහ, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

– ජනපතිගෙන් අවසන් බුහුමන්

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) අවසන් ගෞරව දැක්වීය.

හිටපු අමාත්‍යවරයාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, කටුගම්පල පිහිටි නිවෙසට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මල්ලවපිටිය – අනුර දිසනායක

මාවතගම – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT