බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීමේ කටයුතු වෙනුවෙන් බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය 2027 දක්වා පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව පත්‍රිකාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනය කරයි. ඊට අදාල කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.
2027 වසර වන විට ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් කිරීමට මෙම එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ අඛන්ඩව නිරත රාජ්‍ය නොවන ආයතන සමඟ ගිවිසුම් අත්සන් කර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අනුමැතිය හිමිවිය.
බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් අවශ්‍ය නොවන බවත් වැඩසටහන 2027 දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වාර්ෂිකව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගත යුතු බවත් අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය 2028 ජුනි 01 වන දින වනවිට අවසන් කිරීමට පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (APMBC) අනුව රජය බැඳී සිටී.
ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර ඇත. මෙරට බිම් බෝම්බ වලින් නිදහස් කර ගැනීම සදහා ජාතික හා අන්තර්ජතික පාර්ශවකරුවන් සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට මේ යටතේ රජය බලාපොරොත්තු වේ.
2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ආරම්භ කෙරිණ.
පසුගිය කාලය තුළ මෙම මධ්‍යස්ථානය විවිධ අමාත්‍යංශයන් යටතේ ක්‍රියාත්මක වු අතර වර්තමානයේ එය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය යටතේයි.
බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි.මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සෘජු දායකත්වයක් ලබා දෙන අතර ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකය හරහා එය සිදුකෙරේ.
ඊට අමතරව අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන හලෝට්‍රස්ට් හා මැග් හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන ඩෑෂ් හා ෂාෆ් විසින් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට මූල්‍යාධාර ලබා දෙයි. මෙම වැඩසටහන සදහා ආධාර සපයනු ලබන ජාත්‍යන්තර ආයතනවලින් අනෙක් රාජ්‍ය නොවන සංවිධාන 4 සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5 ක මුදලක් සපයනු ලබයි.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වැඩසටහන අවසන් වීමත් සමඟම මෙහි සේවය කරන 3,000කට අධික සිවිල් ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහා විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බවයි. ජාත්‍යන්තර ආධාර මත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු හා නැගෙනහිර පළාත් හී ප්‍රධාන ලේකම්වරුන් හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.
මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 204 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබේ. තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතය.
2023 වසරේදී වර්ග කිලෝමීටර 5.2 ක ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කර පුද්ගල නාශක බිම්බෝම්බ 18,064ක්, යුධ ටැංකි නාශක බිම්බෝම්බ 51 හා පුපුරා නොගිය බෝම්බ හා පතොරම් 15,070ක් සොයාගෙන ඒවා විනාශ කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. එහි සිවිල් ජනතාව නැවත පදිංචි කරවීම හා ඔවුන්ගේ ජීවනෝපාය වෙනුවෙන් ඉඩම් නිදහස් කළ බව ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය පවසයි.