Home » සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට පියවර

සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට පියවර

by yasara
February 20, 2024 1:23 pm 0 comment

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල් දරුවන්ගේ සතිය පවත්වාගැනීමට අවශ්‍ය පරිචය ඇති කිරීම සඳහා ‘සති පාසල වැඩසටහන‘ ඉමහත් පිටුබලයක් සලසන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පාසල් දරුවන් තුළ සතිමත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් අද (20) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවති ‘සති පාසල‘ වැඩසටහන් මාලාවේ 2024 සමාරම්භක වැඩසටහන සඳහා එක්වෙමිනි.

දරුවන්ගේ හදවත් තුළ මෘදු කුසලතා සංවර්ධනය කරමින් සමාජ සංවේදී, නිර්මාණශීලී අභියෝග ජයගත හැකි විනයගරුක පුරවැසියන් ලෙස සමාජගත කරවීම පිණිස ‘සතිය‘ අත්‍යවශ්‍ය වන බවත් කිසිදු ආගමකට සීමා නොවී සති පාසල වැඩසටහන මෙරට සියලු‍ පාසල් අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගත් දිනයක් බවට පත් කිරීමට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ ආකාරය ද සිහිපත් කළ අමාත්‍යවරයා යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට තමා තේරී පත්ව සිටින නිසා මෙම සති පාසල වැඩසටහන ද ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද තවදුරටත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන් මාලාව පාසල් පද්ධතිය තුළ වඩාත් සාර්ථකව ක්‍රියාවට නැංවීම පිණිස පළාත් මට්ටමින් සම්පත්දායකයින් පුහුණු කරන බවත් පාසල් තුළ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන ආකාරය නිරන්තර අධීක්ෂණයට ලක් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය වසරේ සිට පාසල් තුළ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සියලු‍ දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසීය.

සති පාසල වැඩසටහනේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT