Home » අධ්‍යාපන ඇමති, ආණ්ඩුකාරවරුන්, පළාත් බලධාරීන් සහ වෘත්තීය සමිති සමග අධ්‍යාපන ගැටළු විසඳයි

අධ්‍යාපන ඇමති, ආණ්ඩුකාරවරුන්, පළාත් බලධාරීන් සහ වෘත්තීය සමිති සමග අධ්‍යාපන ගැටළු විසඳයි

by chanaka
February 17, 2024 2:39 pm 0 comment

මෙරට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ගැන වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්ව පවතින බවත් ඊට අදාළව ප්‍රතිපත්ති රාමුවක් සකස් කර මේ වනවිට පාර්ලිමේන්තුවට යොමුකර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඇමතිවරයා කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගනු ලබන ක්‍රියාමාර්ග අදියරෙන් අදියර ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් පැවතිය යුතු බවත් ය.

ඕනෑම වෙනසක් සිදු කරනවා නම් එම වෙනසට ඔරොත්තු දෙන ප්‍රමාණයට ව්‍යූහය සකස් ව පැවතිය යුතු බව ද මේ වනවිට එම ව්‍යූහය නිවැරදිව සකස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියලු‍ ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන බලධාරීන්, සහ වෘත්තීය සමිති නියෝජිතයන් ‍එක්ව මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා ගැටළු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් මේ අදහස් පළ කළේය.

අධ්‍යාපන පරිපාලන සේවයේ 1,000ක පමණ පුරප්පාඩු තිබෙන බවත්, ගුරු උපදේශක සේවයේ ද විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පවත්නා බවත්, ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් 22,000ක් බඳවාගන්නට පියවර ගත් අතර ඒ සඳහා අධිකරණ තීන්දු ලැබෙන තුරු එම බඳවා ගැනීම් නතර වී ඇති බවත්, පළාත් මට්ටමින් ගුරුවරුන් 13,500ක් බඳවා ගැනීමට ද අවසන් අධීකරණ තීන්දුව ලැබෙන තුරු බලාසිටින්නට සිදුව ඇති බව ද, රාජ්‍ය සේවා කොමිසන් සභාව පවා කලින් කලට ලබාදෙන තීන්දු වෙනස් වන බව ද, ඒ හේතුවෙන් මෙම වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද ‍වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ගුරු සේවයේ, විදුහල්පති සේවයේ මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සියලු‍ සේවාවන්හි වෘත්තීය ගැටළු විසඳීමේ දී ඒ ඒ ක්ෂේත්‍ර වෙනුවෙන් වගකීම් දරන පිරිසක් සිටිය යුතු බව ද, පළාත් නවය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඒ සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය. එක් එක් ‍ක්ෂේත්‍රයන්හි පවත්නා වෘත්තීය ගැටළු හඳුනාගනිමින්, ඒවා විසදාගනිමින් ඉදිරියට යා යුතු බව ද මේ සියල්ලට අප මුහුණ දෙන්නේ ඉමහත් ආර්ථික පසූබෑම් පවත්නා අභියෝගාත්මක වටපිටාවක බව ද, කවර අභියෝග පැවතියත්, අනාගත පරපුරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම නිවැරදිව සකස් කරදීමේ වගකීම අප සැමට පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT