දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොනු කළ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) අවසර ලබා දුන්නේය.
කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම අවසරය ලබා දෙන ලදි. ඒ අනුව අදාළ විරෝධතා සති තුනක් ඇතුළතදී ගොනු කරන ලෙස නියම කෙරිණ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය. එබැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඒ සඳහා අවසර දීමට තීරණය කළේය. කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම අප්‍රේල් මස පස්වැනි දා නැවත කැඳවීමට තීරණය කළේය.
මෙකී කරුණුවලට අදාළ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් ද එදින කැඳවීමට නියම කෙරිණ. මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, එම අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වග උත්තරකරුවෝ වෙති.
ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා පෙත්සම්කාර විපක්ෂ නායකවරයා වෙනුවෙන් පෙනී සිටියේය.