සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ මුහුණු පොතේ පණිවිඩවලට උපහාස ලෙස ප්‍රතිචාර දැක්වූයේ යැයි කියන සිද්ධියක් දුරදිග යෑමෙන් අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් එම වෛද්‍ය පීඨයේ සිවුවැනි සහ තෙවැනි වසරේ සිසුන් පිරිසකට පහරදීමෙන් සිසුන් තිදෙනකු තුවාල ලැබීම ගැන රත්නපුර මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් පසු ද අවසන් වසරේ සිසුන්ගෙන් තමන්ට තර්ජන ඇතැයි තෙවැනි වසරේ සිසුහු පවසති. පසුගිය 12 වැනිදා පස්වරු හයට පමණ රත්නපුර පොලිස් වසමේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට පිහිටා ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන සහ හතර වැනි වසරේ සිසුන් පිරිසක් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරය ඉදිරිපිටට වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් දහයක් පමණ පැමිණ එම ස්ථානයේ නවාතැන් ගෙන සිටි සිසුන් කිහිප දෙනෙකුට අතින් පයින් සහ යතුරුපැදි හිස්වැසුම්වලින් පහරදීමක් සිදු කර ඇති බව ඔවුන් රත්නපුර පොලිසියට පැමිණිලි කර තිබේ.
ජංගම දුරකතන පරීක්ෂා කළ යුතු බව පැවැසීමෙන් දෙපිරිස අතර බහින් බස්වීමක් ඇතිවී ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් තිදෙනාගෙන් දෙදෙනකු රත්නපුර රෝහලේ 07/ඒ වාට්ටුව වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර අනෙක් අය ප්‍රතිකාර ලබාදී රෝහලෙන් පිටකර තිබේ.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි සිසුවකුට සිදුකළ පහරදීම් හේතුවෙන් ඔහුගේ නාසයෙන් ලේ ගැලීම, වමනය සහ ක්ලාන්තය තත්ත්වයන් ඇතිව තිබූ බව රත්නපුර පොලිසිය පැවැසීය. රත්නපුර ශික්ෂණ රෝහලේ ඇඳහිසපත් අංක PHT 15695 යටතේ ඔහු ප්‍රතිකාර ගනු ලබයි.
රත්නපුර නගරයේ වෙරළුප පිහිටි වෛද්‍ය පීඨය තුළ ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න සඳහා ඉදිරි ක්‍රියමාර්ග හා ඊට අදාළව ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එය අවසන් වීමෙන් පසු මෙම පහරදීම 04 වැනි වසරේ වෛද්‍ය සිසුන්ට අවසන් වසරේ සිසුන් සිදු කර ඇතැයි ප්‍රහාරයට ලක්වූ සිසුහු පවසති. සබරගමු වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් විසින් ප්‍රකාශ කරන යම් යම් මතවාදයන් සඳහා එකඟ නොවීමත් අවසන් වසරේ සිසුන් විසින් මුහුණු පොත (FACEBOOK) සමාජ මාධ්‍ය වෙත එක් කරන යම් පළ කිරීම් සඳහා මෙම හතරවැනි වසරේ සිසුන් උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමත් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.
ප්‍රහාරය සිදු කළ සිසුන් නිශ්චිත ලෙස හඳුනාගෙන නැති බවත් නම් කිහිපයක් ගැන සඳහන්ව ඇති නිසා වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් රත්නපුර පොලිසියේ නිලධාරියකු පැවැසීය.
මෙම ප්‍රහාරය ගැන මෙතෙක් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූ බව සබරගමු වෛද්‍ය පීඨයේ ප්‍රහාරයට ලක්වූ සිසුහු පවසති.