Home » පෙරෙට්ටුවේදී හඳුනාගත් විශ්‍රාමික මේජර් ඇතුළු 4ට ලක්ෂ 4ක ශරීර ඇප
වරකාපොළදී ට්‍රැෆික් පොලිසියට පහරදීමේ සිද්ධිය

පෙරෙට්ටුවේදී හඳුනාගත් විශ්‍රාමික මේජර් ඇතුළු 4ට ලක්ෂ 4ක ශරීර ඇප

by mahesh
February 16, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

වරකාපොළ නගරයේ රථවාහන හසුරවමින් සිටියදී පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනා ඇතුළු සිව් දෙනකු පෙරේදා (14) පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙස වරකාපොළ මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් සිව් දෙනා පෙරේදා (14) නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. මහේස්ත්‍රාත්වරිය මේජර්වරයා ඇතුළු සිව් දෙනාට යළි එවැනි පහරදීම් සිදු නොකරන ලෙස දන්වා තරයේ අවවාද කර සිටීමෙන් පසුව එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙසත්, නඩුව යළි අප්‍රේල් 24 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර සිටියාය. මෙලෙස ඇප මත නිදහස් කර සිටියේ කළුතර ඇල්පිටිය පාරේ වතුගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටින විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු වන 51 හැවිරිදි පනියන්දුවගේ අනුර ප්‍රදීප්, කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින විශ්‍රාමික නාවික සාමාජිකයෙක් වන 53 හැවිරිදි ගමගේ ජයලාල් ප්‍රේමකීර්ති පෙරේරා, අම්බලන්ගොඩ ඌරුවත්තේ පදිංචිව සිටින විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයකු වන 51 හැවිරිදි කොම්බු තිලක් ප්‍රේමතිලක හා අනෙක් විත්තිකරු වූ කළුතර, උග්ගල්බඩ පදිංචිව සිටින මෘදුකාංග ඉංජිනේරුවරයකු වන 28 හැවිරිදි අබේකෝන් ජයසුන්දර මුදියන්සේලාගේ ටිල්ෂාන් සෂ්මික ජයසුන්දර යන සිව් දෙනාය.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නගරයේ මේ දිනවල රාත්‍රී කාලයට වරින් වර එක් මංතීරුවක් වසා දමා කාපට් අතුරා පිළිසකර කිරීමක් සිදු කරන අතර, ඉකුත් 12 වැනිදා රාත්‍රි 9.30ට පමණ වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් සමන් (39722) හා පොලිස් කොස්තාපල් සූරිය බණ්ඩාර (85060) යන නිලධාරීන් දෙදෙනා කාපට් අතුරා සංවර්ධනය කරන මංතීරුව වසා දමා අනෙක් මංතීරුවේ වාහන ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබුණු අවස්ථාවක කළුතර ප්‍රදේශයේ මෙම විශ්‍රාමික හමුදා නිලධාරීන් කණ්ඩායම මහනුවර ගොස් යළි පෞද්ගලික බස් රථයකින් එමින් සිට ඇත. එහිදී විත්තිකරුවන් ගමන් කරමින් සිටි බස් රථය වසා දමා තිබුණු මංතීරුවෙන් ගමන් කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ක්‍රියාත්මක වී බස් රථය නතර කර ධාවනය වෙමින් තිබුණු මංතීරුවෙන් ඉවත් කර ගන්නා ලෙස දැන්වීමත් සමඟ විත්තිකරුවන් සිව් දෙනා බස් රථයෙන් බැස පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ ඇති වූවා යැයි කියන බහින්බස් වීමකින් පසුව විත්තිකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තිබේ. පසුව වරකාපොළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකාර විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනා හා මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන තිබිණ. තුවාල ලබා සිටි සාජන්වරයා හා කොස්තාපල්වරයා වරකාපොළ රෝහලට ඇතුළත් කෙරිණ.

අත්අඩංගුවට ගත් සිව් දෙනා ඉකුත් 13 වැනිදා වරකාපොළ මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙසත් පොලිසියට නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් වරකාපොළ පොලිසියේ සැරයන් රාජපක්ෂ (33987) නිලධාරියා අධිකරණයේ පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT