බාලවයස්කාර දරුවකුගේ ගිණුමේ තැන්පත් කළ මුදල් දරුවාට වයස 18 සපිරෙන විට ගැනීමට ගිය අවස්ථාවේදී ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ වූ වංචනිකයන් පිරිසක් එහි තිබූ සියලු මුදල් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් ගල්නෑව පොලිස් වසමෙන් වාර්තා වේ. ගල්නෑව මහවැලි ජනපද ගම්මානයක ජීවත්වන මවුපිය යුවළකට දාව උපන් පුතු නමින් ගල්නෑව රාජ්‍ය බැංකුවක බාලවයස්කාර ගිණුමක් ආරම්භ කර ඇත්තේ මීට 18 වසරකට පෙරය. ගොවිතැනින් දිවි පෙවෙත ගෙන යන අසරණ මවුපිය යුවළ තමන්ට හැකි පමණින් වරින් වර තම පුතුගේ නමින් ඇති ගිණුමට මුදල් බැර කර තිබේ. ඒ අනුව මේ වන විට ගිණුමේ තැන්පත් කර තිබූ මුදල රුපියල් 31,000කි.
තම පුතාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති නිසා ඊට අදාළ පොලිය ගණනය කොට ඔහුට ලබා දීමට බැංකු නිලධාරීන් කටයුතු කර දී තිබූ අතර, එම මුදල් ගැනීමට ඔහු බැංකුවට පැමිණි අවස්ථාවේ ඊට පෙර පුතු හා ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ වූවන් විස්තර අසා එදා මෙදාතුර දුකසේ උපයා ගත් මුදලින් තැන්පත් කර තිබූ සියලුම මුදල් ඩැහැගෙන ඇති බවට කරුණු හෙළි වූ බව දරුවාගේ පියා අප වෙත පැවසීය. සිද්ධිය පිළිබඳව ගල්නෑව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතත් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසියට ද මෙතෙක් හැකි වී නැත.