ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණානුස්මරණ උළෙල අද (16) සවස 2 සිට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදය පවසයි.
නවම් විරු සැමරුම ලෙසට මෙම සැමරුම නම් කරමින් දිවංගත විජය කුමාරතුංග මහතා ප්‍රධානව, පුවක්දරමුල්ලේ පේමාලෝක නායක ස්වාමීන් වහන්සේ, ඔසී අබේගුණසේකර, දේවබණ්ඩාර සේනාරත්න මහත්වරු ඇතුළු ජීවිතක්ෂයට පත් වූ එකසිය ගණනක් සිහිපත් කරමින් මෙම සැමරුම සිදු කරන බව සංසදයේ සාමාජික මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකා මහජන පක්ෂය ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වීම හේතු කර ගනිමින් විජය කුමාරතුංගයන්ගේ ඝාතනය සිදු කළ බවත් විජය කුමාරතුංග මහතාගේ දේශපාලන දර්ශනය අදටත් වටිනා දර්ශනයක් වන අතර ඒ මහතා කළ කාර්යන් සමාජගත කිරීමේ අරමුණෙන් මේ සැමරුම සිදු කරන බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ.